Monday, November 21, 2011

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ


”කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා”

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරිතැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

ඇය ද මිනිස් දුවකි. ආලයේ වේදනාව ඇයට ද දැනෙයි. තමාට අහිමිව ගිය ආදරය පිළිබඳව ඈ තුළ ද කම්පාවක් පවතී. එහෙත් ඇගේ හඬා වැලපීම සිද්ධාර්ථ හිමියන් සමාන කරනු ලබන්නේ ළා දළු බෝපතක් මඳ සුළඟට හෙමින් සැලීමටයි. ඒ උපමාලංකාරය තුළින් ඇය කෙරෙහි කම්පාවක් මෙන් ම භක්තියක් රසිකයා සිතෙහි හටගනී. එසේම ඇය හඬා වැටෙන්නේ රහසේ ය. ප්‍රසිද්ධියේ හඬා වැලපෙමින් තම සැමියාට අගෞරවයක් කිරීමට ඈ නොසිතයි. ජනකවියා මේ අවස්ථාව නිරූපණය කරන්නේ මේ අයුරිනි.



”තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමිසඳ සිහි වෙනවා
දමා කුමරු වැඩියා මට සිහිවෙනවා
මෙමා හැර ලියෝ ලෙව් තුªළ ඇතිද තවා

”පෙරමින් කඳුළු කිරි දරුවෙකු අතේ දරා
පෙරළා නොගොස් පෙම්බර මව්පියන් කරා
දරදඬු ගැසුණු අතපය හාමතේ දරා
නරකාදියකි හිමියනි අද යසෝදරා

එහෙත් එවැනි ගොරහැඬි ගැහැනිය වෙනුවට සංසාරයෙන් සංසාරයට ආදරය දෝතින් රැගෙන ආ සංයමශීලි ගැහැනියක සිද්ධාර්ථ හිමියෝ අප ඉදිරියට ගෙන එති.

”ලේන කුලේ සිට ආගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් සේ”

ඇය හදේ සිරකරගෙන සිටියා වූ ශෝකය සැබෑ ලෙස පිටාර ගලන්නේ කිඹුල්වත් පුර ගමනේ දී බුදුහිමියන් ඈ බැහැදකින්නට ගිය විට ය. ඇය බුදුහිමියන් ගේ දෙපාමුල හඬා වැටෙන්නේ අහිමි වූ ආදරය නිසා ඇති වූ මානසික ආතතිය මුදා හරිමිනි. එහෙත් මේ අවස්ථාව ඉතා ම සංයමශීලී ව තම පදමාලාවට එක්කර ගැනීමට සිද්ධාර්ථ හිමියෝ සමත්වෙති. ඇය බුදුහිමියන් ගේ දෙපා ළඟ ඇද වැටෙද්දී සාධුකාර දෙමින් නිවන් මල් පිපුණු බව පැවසීමෙන් ඒ අනුවේදනීය අවස්ථාව බොදු බැතිය වඩවන අවස්ථාවක් බවට පත්කරගනී.

”තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ....”

මේ ආකාරයෙන් ආදරය හා භක්තිය මනාව සම්මිශ්‍රණය කර කැටයම් කිරීමට පැරණි සිංහල ජනකවියා ද සමත් වෙයි.

”කාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අද අඳුරුයි සුවාමිනි....”

මේ ගීතයේ සංගීතය මෙන්ම ගායන ලතාවද සුවිශේෂ ය. මේ තුළ පැරණි වැලපුම් කවියක ඇති වැලපීම නො ඇසේ. ඒ වෙනුවට ආදරය දයාව කැටුවුණු කරුණා රසයක් මුළු ගීතයේ ම ආත්මය බවට පත්වෙයි.

”හිතේ නැගුණු කලකිරීම සොදුරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යසෝදරා
එයින් මිදෙන මං පෙත සොයනා කල
ඔබෙන් ලැබුණි නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දුවන කල...
කෙමෙන් මැකී යයි යසෝදරාවත

බවුන් වඩන බෝධිසත්වයන් ගේ සිතින් යසෝදරා කෙමෙන් බැහැර වුවද රසිකයන් ගේ සිත් තුළ නොමැකෙන පරමාදර්ශී ආසියානු ගැහැනියක මෙබඳු නිර්මාණ තුළින් හඳුනාගත හැකිය.

සාමාන්‍ය ගැහැනියකට තමා දමා ගිය සැමියා ගැන මෙසේ දයාබරිත වීමට නොහැකිවන්නට පුළුවන. එහෙත් ආදරයේ උත්තරීතත්වය හඳුනා ගත් ගැහැනියක කෙබඳු විය යුතුද යන්න යසෝදරා ගේ චරිතය අපට පසක් කර දෙයි.

මේ මොහොතේ මා ඉදිරියේ මැවෙන්නේ කිඹුල්වත් පුර සුවිසල් රජ මැදුරකි. වේලාව මධ්‍යම රාත්‍රියයි. එහි කවුළුවක් අසල සඳ දෙස බලාගෙන යසෝදරා නිදිවර්ජිතව සිටින්නී ය. කවුළුවෙන් රිංගා යන සඳ එළිය පුංචි රාහුල පුතු නිදන සිරියහනට පතිත වෙයි. ඒ සරා සඳ වසා දමන්නට හෙමින් ඇදෙන කළුවලාවකි. යසෝදරා ගේ දෑස් අග රැඳුණ කඳුළක් තරුවක් සේ මොහොතක් දිලිසී බිමට වැටෙයි.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home