උපේක්ෂා පාරමිතාව
ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසාචසුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්ම
අසස්සතා විපරිනාම ධම්මා
අෂ්ටලෝක ධර්මයන් වශයෙන් දැක්වෙන ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස, සැප - දුක් යන මේ ස්වභාව ධර්ම අටට බුදු පසේ බුදු මහරහතුන්ගේ පටන් කවර කෙනෙකුට වුවද මුහුණ දීමට සිදු වන්නේමය. මේ ලෝකයෙහි වෙසෙන අපි සැමදෙනාට යමක් ලැබෙන අවස්ථාවන් තිබේ. ගොවිතැන වෙළඳාම, රැකී රක්ෂාවකින් හෝ ධනවතුන්ගේ උපකාරයෙන් යම්කිසි දෙයක් ලැබෙන කාල වකවානු තිබේ. එසේම, යම් යම් කරදර යෙදී තිබෙන දේත් නැති වී විනාශ වී යන වකවානු ද ඇත. මේ ලාභ අලාභ දෙකය. සමාජයෙන් අපමණ නින්දා අපහාස ලැබෙන අවස්ථාවන්ද ඇත. තමන් බලාපොරොත්තු නොවූ අයුරින් පවා සමාජයෙන් ලෝකයෙන් ස්තුති ප්‍රශංසා ගරු නම්බු ලැබෙන කාල ද ඇත. නින්දා ප්‍රශංසා යනු මේ දෙකයි.
කිසිවෙකු නැති, කාගේවත් ඇස් බැල්මකට හසු නොවී අනාථ පුද්ගලයෙකු සේ අසරණ තත්ත්වයෙන් ජීවත් වීමට සිදුවන වකවානු ද ඇත. තව කලකදී එය වෙනස්වී යසස නමින් දැක්වෙන මහා පිරිස් බලයක් ඇති – කා අතරත් ජනප්‍රියත්වයකින් යුතුව ජීවත් වීමේ අවස්ථාවන්ද පැමිණේ. යස - අයස යනු මෙයයි.
අඩු පාඩුවකින් තොරව සියලු සැප පහසුකම් ඇතිව ජීවත් වීමට හැකිවන අවස්ථාවන් සේම අපමණ දුක් කරදර නැති බැරිකම් අග හිඟකම්වලින් අසීමිත ලෙස පීඩා විඳීමට සිදුවන කාලයෝ ද මිනිසාට පැමිණේ. ඒ සෑම අවස්ථාවකම හිත කළකිරවා නොගෙන, අසවලා නිසා හෝ අසවලුන් නිසා මට මේ කරදර අලාභ සිදු වේ යයි කෝප, ක්‍රෝධ ආදිය හිතේ ඇති කර නොගෙන මෙහි සඳහන් අටලෝ දහමට සම සිතින් මහුණ දීමට හුරු පුරුදු විය යුතු ය. සුඛංච ජක්ඛං යනු ඒ දෙකයි. අටලෝ දහමට මුහුණ දිය හැකි බව මහා ගුණයකි. එය එසේ මෙසේ කෙනෙකුට පවත්වා ගත හැකි ගුණයක් නොවේ. ඒ නිසා මේ කියන අටලෝ දහමට සම සිතින් යුතුව මුහුණ දීමට හිත දියුණු කර ගැනීම උපේක්ෂා ගුණයයි.
ලැබෙන පරිභවවලට – හිංසා පීඩාවලට අසතුටකින් තොරව මුහුණ දීමටත් සැප පහසුකම් තාන්නමාන්න ලැබෙන විට හිස උදුම්වා ගන්නේ නැතිව එයටත් නිහතමානීව සම සතින් යුතුවම පිළිපැදිය යුතුය. මේ කියන උපේක්ෂා ගුණය නැති පුද්ගලයා යමක් ලැබුණු විට තැනක් ලැබුණු විට දඟලති. කෑකෝ ගසති. අන් අය හෙළා දකිති එය නූතන ලෝකයෙහි අප අතර පවත්නා පහත් පෙළේ සිරිතක් ව ඇත.
එසේම අගහිඟකම් ඇති වන විට කරදර කම්කටොලුවලට මුහුණ දීමට සිදුවන විට අන් අයට අවලාද කරමින් – රණ්ඩු සරුවල් ඇති කරගනිමින් සිදු කරන පාපයන් පිළිබඳව නොදන්නා කෙනෙක් නැත. මේ දුර්ගුණය නිසා උදාර ගුණයන්ගෙන් අපි පිරිහීමට පත්ව ඇත. එන එන කවර අර්බුදකාරී ප්‍රශ්නයකට වුවද මුහුණ දී සිත සමව පවත්වාගනු පිණිස ගත් උදාර පරිශ්‍රමයක් පිළිබඳව ලෝම හංස ජාතක කතාවෙන් පැහැදිලි වන්නේ ය.
අප මහා බෝසතාණෝ ඈත කාලයක බොහෝ සම්පත් ඇති පවුලක උපත ලබා දිසාපාමොක් ආචාරීන් වෙතින් උසස් අධ්‍යාපනය ද නිම කොට මේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කර ගැනීමට අදිටන් කර ගත්තේය. පැවිදි වුවහොත් එය හරි හැටි සපුරා ගැනීමට නොලැබෙන බැවින් තමන්සතු සියලු දේපළ අරෝග්‍යශාලා පාඨශාලා මඟ යන එන අයට නැවතීමට විශ්‍රාම ශාලා - එදා පැවැති ආගමික ආයතනවලට පුදා නැති බැරි අයට ද ඉතිරි සියල්ල ද පරිත්‍යාග කොට අනගාරික බවට පත් වී බ්‍රහ්මචාරී පුද්ගලයෙක්ව මිනිසෙකුට මුහුණ දීමට සිදුවන කෙබදු ප්‍රශ්නයකට වුවද, පුරුදු වීම පිණිස මහ මඟට බැස්සේ ය.
හොඳ මිනිසුන් වෙසෙන ගම්වල ද එසේම නපුරු මිනිසුන් ඉන්න ගම්වල ද සැරිසරමින් දුක සැප දෙකටම එක සේ මුහුණ දී සම සිත් – මැදිහත් බව ඇතිවම එක රැයක් පමණක් එක ගමක ගත කෙළේ ය. හොඳ ගම්වලදි සැප පහසුකම් ලැබුණේ යයි සිතා කිසිවිටෙකත් අමුතු සතුටක් ඇතිකර නොගත්තේ ය. නපුරු ගමකට ගිය විට අනාදරයෙන් හිරිහැර කළ ද හිත වෙනස් කර නොගත්තේ ය. පහරදීම්, මුහුණට කෙළ ගැසීම් බඳු අදමිටුකම් කරන මිනිසුන් වෙසෙන ගම්වලට ගිය ද ඒ හිරිහැර විඳීමින් ඒ දවස ගත කෙළේ ය. සමහර ගම්වලදී දෙකනට කෝටුවලින් අනින අශිෂ්ට කොලු කුරුට්ටන් ගෙන් ද හිරිහැර ඇති විය.
මේ කිසිවකුටත් කම්පා නොවී මාගේ මේ දුෂ්කර ව්‍යායාමය සම්මා සම්බෝධියට පත්වීම සඳහා උපේක්ෂා පාරමිතාව බවට පත් වේවායි ප්‍රාර්ථනා කළහ.
සුබ දුක්ඛේ තුලා භූතෝ - යසේසු අයසේස්‍රච
සබ්බත්ථ සමකෝ හෝමි – ඒසා මේ උපේක්ඛා පාරමි
සැප දුක් – යස අයස ආදී අටලෝ දහමෙහි මම සෑම අවස්ථාවකදීම මැදිහත්ව සම සිතින් යුතුවම උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කර ගතිමි. ලෝම හංස බෝසත් තාපසයන් වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළ අයුරු ඉහත සඳහන් ගාථාවෙන් පැහැදිලි වන්නේ ය.
Labels: පාරමිතා
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home