Wednesday, November 23, 2011

මෛත්‍රී පාරමිතාව


අපේ සිත කය වචනය යන තුනෙන්ම අන් කෙනෙකුට කිසිදු හිංසාවක් නොවන පරිදි සැමටම සැපක් වන අයුරින්ම යොමුකර ගැනීම මෛත්‍රියයි. ලෝකයට හිත සුව පිණිස ක්‍රෝධ කෝප ආදියෙන් තොරව සැමටම යහපතක් වන අයුරින් තම ජීවිතය සකස් කර ගැනීමයි. “මෙත්තා” යන වචනයෙහි තේරුම මිත්‍රත්වය යන්නයි. කා සමඟ වුවද සුහදව මිත්‍රත්වයෙන් ජීවත්වීම මේ මෛත්‍රී ගුණයෙහි ලක්ෂණයයි. බුදු බවට අවශ්‍ය සුදුසුකම් වලින් මේ මෛත්‍රිය ද තමන් තුළ පිහිටුවා ගතයුතුම ධර්මයකි. මෙකී උදාර ගුණය අපේ සිත් සතන් තුළින් බැහැර කරන්නේ ;ක්‍රීධය, කෝපය, වෛරය පලිගැනීම, ඊර්ෂ්‍යාව බඳු අකුසල කර්මයන් විසිනි.

ඉහත කී අකුසල කර්ම පිළිබඳව නිසි පරිදි අවබෝධයක් ලබාගෙන ඒ පාප කර්මයන්ගෙන් සිත මුදා ගැනීම මෛත්‍රිය දියුණු කිරීමේ ඒකායන මාර්ගයයි. බොහෝ වට රාගය නමින් හඳුන්වනු ලබන ආසාව ද මෛත්‍රියෙහි මුහුණු වරින් අපේ සිත් සතන් තුළ බැස ගන්නා ක්ලේශයෙකි. කරුණාවේ මෛත්‍රියේ මුහුණුවරින් ලස්සන දෙයට අපේ සිත දුවන්නේය. එය අවංකවම මෙත් සිතක් නොවේ. හොඳ ඇඳුමකින් සැරසුණු පාට පෙනුම ඇති කෙනෙකු දුටු විට ඔහුට නැත්නම් ඇයට සලකන්නට උපකාර කරන්නට සිත යොමු වේ.

එය රාගයේ මුහුණුවරින් ඉදිරිපත් වන ක්ලෙශයක් මිස නියම මෛත්‍රියක් නොවේ. මෙවැනි ක්ලෙශයන් වංචක ධර්ම පුද්ගලයා නොමග යවන කරුණු වශයෙන් ධර්මයෙහි දක්වා ඇත. නියම මෛත්‍රියෙහි ස්වභාවය නම් අවලස්සන අපිරිසිදු රෝගී අසරණ දරුවෙක් හෝ කෙනෙක් හෝ දුටුවිට අර ලස්සන දරුවාට තිබුණු කරුණාවම අප තුළ ඇති වන්නේ නම් එය නියමම මෙත් ගුණයයි. මෙයින් පැහැදිලි වන්නේ රාගය නැත්නම් ආසාව බොහෝ විට කරුණාවේ හෝ මෛත්‍රියේ මුහුණුවරින් අපේ සිත් සතන් ඩැහැගන්නා ආකාරයයි.

මෛත්‍රිය පටන් ගත යුත්තේ තමන්ගෙනි. තමාගේ නීරෝගී භාවය චරිතවත් බව රැකගෙන පළමුවෙන්ම මට සැපයක් වේවා මම සුවපත් වෙම්වායි තමන්ගේ සිත කය වචනය පැහැපත් කරගත යුතුය. තමන්ගේ ගෙදර දොර අය ගම්වාසී, රටවාසී, ලෝක වාසී සියල්ලන් කෙරෙහි ද මෙත් වැඩිය යුතුය. තමාගේ සිත් තුළ තව කෙනෙකුට හිංසාවක් , පීඩාවක් අහිතක් කිරීමේ සිතුවිලි මාත්‍රයක්වත් ඇති වීමට ඉඩ නොතැබිය යුතුය. වචනය ද එයාකාරයෙන් සංවර කරගත යුතුය. බොරුව පරුෂ වචන කේලාම් සහ අනර්ථකාරී හිස් කථාවන්ට ඉඩ නොතැබිය යුතුය. ප්‍රාණගාතාධී හිංසාකාරී ක්‍රියා දැඩි ලෝභී බවට සහ වැරදි ඇදහීම් දෘෂ්ටිවලට හිත ඇදී යන්නට ඉඩ නොතැබිය යුතුය. මේවායින් තමන්ටම අවංක පුද්ගලයෙක්ව සැමට අහිතක් නොවන පරිදි කාගෙත් සැපට කැමැත්තෙන් යුතුව කළ හැකි ක්‍රියාකාරකම් උපකාරයන් ඇති කරගෙන ජීවත්වීම බුදුබව පතන මහා බෝසතාණන් වහන්සේලාගේ ස්වභාවයයි. මෙත්තානිසංස සූත්‍රයෙහි දක්වා ඇති පරිදි ඉහත කී අයුරින් මෛත්‍රී සහගතව ජිවත් වන පුද්ගලයාට අනුසස් එකොළසක් ලැබෙන බව දක්වා තිබේ.

01. සුවසේ නින්ද යාම,
02. සුවසේ පිබිදීම.
03. නපුරු දරුණු සිහි නොපෙනීම,
04. කා අතරත් ප්‍රිය කෙනෙකුන් බවට පත්වීම.
05. තිරිසන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් විසින් ද ප්‍රිය කරන්නෙකු වීම.
06. දෙවියන්ගේ ආරක්ෂාව සහ බැල්ම ලැබීම.
07. ගිනි, වස, විෂ, ආයුධ ආදියෙන් විපතට පත් කිරීමට නොහැකි වීම,
08. කවර ප්‍රශ්නයකදී වුවද හිත කලබලකාරී බවට පත්කර නොගෙන තැන්පත්ව අපක්ෂපාතී තීරණ ගැනීමට හැකි වීම.
09. සිත තුළ ඊර්ෂ්‍යාව කුහ ගති නැති නිසා මුහුණේ අවංක අව්‍යාජ දුටුවන්ගේ සිත් සතන් පහදවන ස්වභාවයක් ඇතිවීම.
10. වද වේදනාවකින් තොරව වරු ගණන් දින ගණන් පණ ඇදීකින් තොරව, තමා කර කියාගත් යහපත් කුසලයක්ම මෙනෙහි කරගෙන අවසන් හුස්ම හෙළීමට හැකිවීම.
11. ඊළඟ භවය ස්ථිර වශයෙන්ම දිව්‍ය ලෝක ආදී සුගතියක ඉපදීමට ලැබීම මෛත්‍රියෙහි දැක්වෙන අනුසස් එකොළහ බව දත යුතුය.

මෛත්‍රියෙහි අනුසස් දැක්වෙන මෙබඳු කථා පුවතක් විසුද්ධි මාර්ගයෙහි මෙත්තා භාවනා ගැන කියවෙන තැන දක්වා තිබේ. අනුරාධපුර රාජ සමයෙහි දඹදිව පැළලුප් නුවර එනම් පාටලීපුත්‍ර නගරය ධර්මාශෝක අධිරාජ්‍යයාගේ රාජධානිය විය. එහි විසාක නමින් තොග වෙළෙඳ ව්‍යාපාරිකයෙක් විසීය. ඔහු මහධන සිටුවරයෙකි. වෙළඳ බඩු ගෙන්වීම සහ නගර ගම් නියම් ගම් පුණ ගැල් මගින් බෙදා හැරීමත්, ඒ නියම් ගම් වලින් ගැල් ආපසු එනවිට ඒ ප්‍රදේශ වලින් නගරයට අවශ්‍ය බඩු ගෙන ඒමත් වෙළඳ ව්‍යාපාරිකයාගේ වාණිජ පිළිවෙතයි. ඔහු දානපතියෙකි. ආගම ධර්මයට නැඹුරුය. තම කඩ - සාප්පු ද බෝජුන් හල් සහ තානායම්වලට එන යන අය සම්ග ද නිහතමානීව ප්‍රියශීලීව කතා කරයි.

ඒ නිසා පැළලුප් නුවර හරහා ලංකාවට යන එන චීන - නේපාල් - කාම්බෝජ - ලාඕස් ටිබෙට් – ඇෆ්ගනිස්ථාන එනම් අවකම් රට ආදී දේශවලින් එන ගිහි පැවිදි සංචාරකයින් යැයි දෙනා විසාක් වෙළඳ ව්‍යාපරිකයා සමඟ සම්බන්ධකම් පැවැත්වූහ. පුතුන් දෙදෙනෙකුගේ සහ දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු පනස් පස් වැනි විය වනතුරු ගිහි ජීවිතය සාර්ථක ලෙස ගත කොට එක්තරා තීරණයකට බැස ගත්තේ ය. තම දියණිවරුන් දෙපළ සහ බෑණවරුන් දෙපලත් පුතුණුවන් දෙපළ සහ ලේලිවරුන් දෙපළත් මවත් සමග නව දෙනා සහ ඔහුත් මේ පවුලේ දස දෙනාම එක්ව එක් රාත්‍රියක එකට ආහාර ගෙන මෙසේ සාකච්ඡා කළහ.

“දරුවෙනි, අද මගේ පනස් පස්වෙනි උපන් දිනයයි. මම මෙබදු තීරණයක් ගෙන සිටිමි. මා සතු පනස් කෝටියක රන් රිදී මුතු මැණික් තිබෙනවා. ඉඩකඩම් වතු පිටි කුඹුරු අතහැරයි ඒ වස්තුව ! මේ සියලු දේපළ මෑණියන්ටත් දරුවන් හතර දෙනාටත් මා බෙදා දෙනවා. මෑණියන්ට දස කෝටියක් හැමෝටම දස කෝටිය බැගින් මේ දේපළ දැහැමි ලෙස පරිහරණය කරගෙන මා පවත්වාගෙන ආ වෙළඳ ව්‍යාපාරයන් වඩ වඩාත් දියුණු කරගත යුතුයි. මේ දේපළ වලින් නැති බැරි අයටත් ආධාර උපකාර කළයුතු අයටත් කරුණා පෙරදැරිව පරිත්‍යාග කරන්නටත් ඕනෑ ! එසේම අපේ පැළලුප් නුවර අශෝකාරාමය මහා විහාරය ඇතුළු විහාරාරාමවල අඩුපාඩු සොයා බලා ඒවාටත් උදව් උපකාර කරන්නටත් ඕනෑ.

රෝගාතුර භික්ෂූන් වහන්සේලාටත් ඈත එපිට පළාත්වලින් ම ප්‍රතිකාර ලැබීමට පැමිණ සිටින ධර්මාශෝක මහා රජු කරවන ලද මේ අශෝකාරාම විහාර භූමියට ඈතින් පිහිටුවා ඇති ගිලන් භික්ෂු රෝහලට සිවුපස පහසුව පිණිස - බෙහෙත්හේත් සඳහා අවශ්‍ය වියදම් දරන්නන්ටත් ඕනෑ. මම මම තීරණයක් කරගෙන තිබෙනවා මේ සියලු දේපළත් මෑණියනුත් දරුවන් වශයෙන් ඔබ හතර පොළට පවරා ධර්ම ද්වීපයට යන්නට. ඒ ධර්ම ද්වීපය නමින් හඳුන්වන ලක්දිව පුදුමාකාර සෞභාග්‍ය සම්පන්න ගුණවත් රටක් ! මේ පැළලුප් නුවර හරහා ඒ ධර්ම ද්වීපයට යන එන මිනිස්සු මට හමුවෙනවා! භික්ෂූන් වහන්සේලා ද මට හමුවෙනවා! ඔවුන්ගෙන් දැනගෙන තිබෙන පරිදි අපේ මේ දඹදිවට ආසන්නයම දකුණු දිශාවන් පිහිටි පොඩි දිවයින දැහැමි රජ කෙනෙක් රජකම් කරන රටක්! දේශගුණය බොහොමත්ම හොඳයි.

උෂ්ණ දේශගුණයකි. රට තරමක් ඇතුළට ගිය විට සමශීථෝෂ්ණ දේශ ගුණයයි. රටට මැද කඳුකරයට ගියවිට ශීතල දේශගුණයයි. කවර දේශගුණයකට වුවද, හුරු පුරුදු කෙනෙකුට මේ කියන ධර්ම ද්වීපයෙහි පහසුවෙන් ජීවත්වීමට පිළිවනි ! සියල්ලෝම බෞද්ධයෝය ! රටම කාසාය වස්ත්‍රයෙන් බබළයි! (හැම ගමකම පන්සල් - භික්ෂූන් වහන්සේලා වැඩ සිටින බව මෙයින් කියවේ) අපේ දඹදිව උපත ලද සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට පිළිපදින රටකි. ආගන්තුක සත්කාරය බොහෝම ඉහළින්ම සලකන රටකි ! ඒ මිනිසුන් අතර හොරකම් කපටි කාෂ්ටකම් නැත! ඒ ධර්ම ද්වීපවාසී මිනිසුන් පිටරටකින් ආ කෙනෙකුට වුවද කිසිදු වෙනසක් නැතිව තමන්ගේම පවුලේ කෙනෙකු ලෙස සලකති. කුඩා ළමයින් තරුණයින් පවා කරුණා මෛත්‍රියෙන් යුක්තය.

“දරුවෙනි, මේ ධර්ම ද්වීපයට ගොස් පැවිද්දට පත්ව ඉතිරි අවුරුදු දහය පහළොව මහණදම් පිරීම මාගේ අධිෂ්ඨානයයි! ඒ සඳහා ඔබලා අහිතක් ඇති නොකර ගත යුතුය. මගේ උතුම් වූ අදහස ඉටුකර ගැනීමට භාර්යාවෙනි, ඔබත්, දියණිවරුනි ඔබ දෙපළත් පුතණුවනි, ඔබ දෙපළත් බෑණනුවවරුන් ලේලිවරුන් ඔබ හතර දෙනාත් මට මේ මහණ දම් පිරීමේ මහා පිංකම සාර්ථක කරගැනීමට අනුමැතිය දියයුතුය.!

ලක්දිව අනුරාධපුර රාජධානියේ මහා විහාරයෙහි සංඝ නේතෘන් වහන්සේට මා පිළිබඳව හඳුන්වා දෙනු ලබන හසුනක් මේ පැළලුප් නුවර අශෝකාරාම මහා විහාරාධිපතින් වහන්සේගෙන් ලබා ගතිමි. මේ පුස්කොළ සංදේශය එයයි. එම සංදේශය පෙන්වා කියවා දරුවන්ගේ අනුමැතිය ගෙන එයින් සතියකට පමණ පසු ලක්දිවට පැමිණීමට පැළලුප් නුවරින් පිටත් විය.

ලක්දිව උතුරේ දඹකොළ පටුනට පැමිණීමට නියමිත රුවල්නැවකට නැගීම පිණිස කාවේරි මුහුදු වරායට පැමිණ නමුදු දේශගුණ විපර්යාසයක් නිසා වර්ෂාව මීදුම සහ සුළි සුළං හේතු කොටගෙන මාසයක්ම නැව්තොටෙහි රැඳී සිටීමට සිදුවිය. එක එක දේශවලට යන එන රුවල් නැව් සිය ගණනාවක් එහි රැඳී තිබිණි. දහ දොළොස්දහසක් පමණ සෙනඟ ද පිටත යා ගත නොහැකිව එහිම රැඳී සිටියෝය. විසාක දක්ෂ වෙළඳ ව්‍යාපාරිකයෙකි. ඔහු ගමන් වියදම් සඳහා තමා ළඟ තිබූ මුදල යොදවා ඒ මාසය තුළ වරාය තුළ සුළු වෙළඳාමක් කළේය. ඒ කෙටි කාලය තුළ වුවද ඔහුගේ දක්ෂකම් නිසා විශාල මුදලක් උපයා සපයා ගැනීමට හැකිවිය.

මාසයක්ම නැව් තොටේ පමාවී ලක්දිව දඹකොල පටුනට ගොඩබැස අනුරාධපුර මහා විහාරයට පැමිණියේය. අශෝකාරාම මහරහතැන් වහන්සේගෙන් ගෙනෙන ලද තමා හඳුන්වා දී ඇති ලිපි ලේඛන ද ඉදිරිපත් කරන ලදී. රුවන්වැලි සෑය, ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය ආදී අටමස්ථාන සහිත අනුරාධපුර ශුද්ධ නගරයෙහි සිටියේදී විසාක වෙළඳ පුත්‍රයාට දේශීය විදේශීය බොහෝ මිත්‍රයෝ ද මුණ ගැසුණේය. ඒ නිසාම නොබෝ දිනකින්ම මහණ වීමට දින නියම කර ගැනීමට අපහසුවක් නොවීය.

මහා විහාරයේ මහා තෙරුන්ගේ අනුමැතිය පරිදි පැවිද්ද ලෝවාමහා ප්‍රාසාදයෙහි බිම් මහලෙහි යොදා ගන්නා ලදී. එදා සම්භාවනීය භවතුන්ගේ වැදගත් ආගමික උත්සවයන් සඳහා මේ ස්ථානය තෝරා ගෙන ඇති බව පෙනේ. පැවිදි වන දවසේදී තම මහණකම දැකීමට පැමිණි සියල්ලෝම හිස් අතින් නොයෙත්වායි” පවසා තමා ළඟ තිබූ මසුරන් ලක්ෂ ගණනක මහ පසුම්බිය, කාටත් අහුලා ගැනීම පිණිස ඒ අසල පිහිටි ගල් තලයක් මත හැළූයේය. මෙසේ මහ පරිත්‍යාගයක් කොට පැවිද්දට පත් වූ මෙතුමෝ සැමදා නොකඩවා දියුණු කළේ මෛත්‍රී භාවනාවයි. පස් වසරක්ම මහා විහාරයෙහි වෙසෙමින් ධර්ම විනය හදාරා නිම කොට එතැන් පටන් එක ප්‍රදේශයක සාර මාසය බැගින් වෙසෙමින් ලක්දිව පුරාම සංචාරය කළේය.

පසු කලක සිතුල්පව් වෙහෙරට ගොස් සාර මසක් වාසය කොට වස්සාන කාලයක් නිමවා හෙට උදෑසන සිතුල් පව්වෙන් පිටත් වෙමි සිතා “ පුරුදු මෛත්‍රී භාවනා කරමින් නින්දට ගියේය. කෙනෙකුගේ මහ හැඩීමක් මැදියම් රැයෙහි උන් වහන්සේගේ කුටිය ඉදිරිපිට ඇසුණි. කුටිය දොර ඇර එළියට ආ විට තම සක්මන් මළුවේ කෙළවර මහා මයිල ගසේ සිට ඒ හැඩීම ඇසුණු බැවින් එතැනට ගොස් හඬන්නේ කවරෙක්දැයි ශබ්ද නගා ඇසීය.

“ස්වාමීනි, විශාක තෙරුන් වහන්ස හඬන්නේ මමයි පවසමින් මහා ආලෝක ධාරාවක් විහිදුවා බබලන දිව්‍ය පුත්‍රයෙක් අහසට පැන නැගී” ඔබතුමන් හෙට මේ සිතුල්පව් ප්‍රදේශයෙන් යන බැවින් මම හඬමි. ඔබතුමන් මේ ප්‍රදේශයට වැඩම වූ දා පටන් යක්ෂ ප්‍රේත භූතයන් අතරට ද භූමාටු දෙවියන් අතර ද මිනිසුන් අතරට ද පුදුමාකාර එකමුතු බවක් සුහදශීලී බවක් සාමකාමී බවක් පවතී. මෙයට හේතුව විමසා බැලුවෙමි. සිල්වත් බවින් යුතුව ඔබ වහන්සේ වඩන අපරිමිත මෛත්‍රී සිතිවිලි ධාරාව නිසා මේ තත්ත්වය ඇති වූ බව මම දැන ගත්තෙමි.

මේ ප්‍රදේශයට අධිගෘහිත ප්‍රධාන භූමාටු දිව්‍ය පුත්‍රයා වශයෙන් තව කලක් වැඩ සිටින ලෙස ඔබ වහන්සේට ආරාධනා කරමි” අධිපති දිව්‍ය පුත්‍රයා බලවත් ඇවිටිල්ලකින් යුතුව කරන ලද ඒ ආරාධනාව පිළිගෙන විශාක තෙරුණ්ට දිගටම සිතුල්පව්වේ නැවතීමට සිදුවිය. මෙසේ භූම්මාටු දෙවිවරුන්ගේ ඇප උපස්ථාන ලබමින් සිතුල් පව්වෙම වැඩ සිට නොබෝ කලකින් උන් වහන්සේ කෙලෙසුන් නසා සෘද්ධි බල සහිතව මහරහත් බවට පත්වූ සේක. විශාක මහා තෙරුණ්ගේ පිරිනිවන් පෑම සිදුවූයේ ද සිතුල් පව්වේ දීමය.

මෙතරම් උසස් සැලකිලි සහිතව ජීවත් වූයේද මෛත්‍රී කර්මස්ථානයම පාදකකොට ගෙන, රහත් බවට පැමිණීමට හැකි වූයේද මෛත්‍රිය නිසි පරිදි වැඩීම සහ පුරුදු කිරීම නිසා බව සැලකිය යුතුය. බුදුබව පතන උතුමෝ මෛත්‍රීය පාරමිතාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්නේ එයාකාරයෙනි. මේ කථා ප්‍රවෘත්තියෙන් මෛත්‍රියෙහි ඇති බලයත් දේවියන්ගේ සැලකිල්ලත්, එදා ලක්දිව පැවති සෞභාග්‍ය සම්පන්න බවත් අපේ ජනතාව තුළ පැවති උදාර මානෂික ගුණ පිළිබඳවත් පැහැදිලිව දැක්වෙන නිසාත් මේ කථාව තරමක් දිග් වූ බව සඳහන් කළ යුතු තිබේ. නිසි පරිදි මෛත්‍රිය වඩන්නේ නම් දැනුදු මෙවැනි අනුසස් ලබාගත හැකි බව ඉඳුරාම කිව යුතුව ඇත.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home