කුසල් කිරීමෙහි යුහුසුළු වි සිත අකුසලයෙන් වළකාගත යුතුය
සැවැත් නුවර චුල්ලෙසාටක නම් බමුණෙක් විසීය. හේ ඉතා දිළිඳුය. බමුණාටත් ඔහු ගේ බිරියටත් වූයේ එකම උතුරු සළුවකි. මේ නිසා දෙදෙනාට ම එකවර ගෙයින් පිට ගමනක් යා නොහැකි ය.
දිළිඳු වුවද සැදහැ සිතින් යුතු වූ මේ අඹු සැමි දෙදෙනාට එකල දෙව්රම් වෙහෙරෙහි පැවැත් වූ පින්කම් මාලාවට සහභාගි වීමට සිත් විය. උරහිස පෙරවීමට ඇත්තේ එකම සළුවක් නිසා දෙදෙනාට එකවර ඊට සහභාගි වීමට නොහැකි විය. දෙදෙනා දෙවරකට බණ ඇසීමට යාමට කතිකා කර ගත්හ.
රෑ කල දහම් ඇසීමට ගිය බමුණා ගේ සිත දහමෙහි ඇළුණේ ය. තම එක ම උතුරු සළුව සිහි විය. බමුණා එය පූජා කිරීමට සූදානම් වූයේ ය. ඒ වේලේ ‘මටත්, බිරියටත් ඇත්තේ මේ සළුව පමණි. මෙය ද දුන් කල ගෙයින් පිට යන්නේ කෙසේ ද?’ යි මසුරු සිත් ආවේය.
මෙසේ දෙම්දෝ, නොදෙම්දෝයි කිහිප විටෙක ම කල්පනා කළ බමුණා අවසන සිත පහදා උතුරු සළුව පූජා කළේය. මසුරු සිත් පැරද වූ හේ ‘මම දිනුවා’, ‘මම දිනුවා’ යැයි හඬ ගෑවේ ය.
දහම් ශ්‍රවණයට ආ කොසොල් රජුට ද එය ශ්‍රවණය විය. මා සිටිය දී තවත් කෙනෙක් දිනන්නේ කෙසේද යි සිතා ඇමතියකුගෙන් මේ ගැන විමසන්නේ ය.
අඹු සැමි යුවළට පෙරවීමට තිබූ එක ම උතුරු සළුව පුදා මසුරු සිත දිනූ හෙයින් මෙසේ උදම් ඇනුවේයැයි දැන දිළිඳු බමුණා කෙරෙහි පැහැදුණු රජු ඔහුට යස ඉසුරු පරිත්‍යාග කළේ ය. මේ පුවත නිමිති කර ගනිමින් බුදුරජාණන් වහන්සේ කුසල් කිරීමෙහි යුහුසුළු විය යුතු බවත්, සිත අකුසලයෙන් වළකාගත යුතු බවත්, පින් කිරීමෙහි අලස වන තැනැත්තාගේ සිත පවෙහි ඇලෙන බවත් දේශනා කොට වදාළහ.
මේ ගාථා ධර්මයෙන් පැහැදිලිව දක්වා තිබෙන්නේ මිනිස් මනසෙහි පවතින්නා වූ ස්වභාවයයි. සාමාන්‍යයෙන් මිනිස් සිත ලෝබ, දෝස, මෝහ යන අකුසල මූලයන්ගෙන් බැඳී පවතී. මේ නිසා දන් දීම්, සිල් රැකීම් ආදී වූ යහපත් ක්‍රියා සඳහා හුරු පුරුදු කරවා ගැනීම අපහසු ය.
කාලයක් තිස්සේ ආයාසයෙන් හුරු පුරුදු කිරීමෙන් පමණක් එය සකස් කරගත හැකිය. පින්කම් කරම්දෝ නොකරම් දෝ යනුවෙන් සිත සිතා සිටීමෙන් සිදුවන්නේ පවට බර පිළිතුරකට සිත සකස් වීම ය.
මෙහි එහි එන චරිත එදාටත් වඩා වර්තමාන සමාජයට ගැලපෙන බව වැටහෙනු ඇත. අයහපත පි‍්‍රය කිරීමත්, යහපතෙහි උදාසීන වීමත්, මිනිස් සිතේ සාමාන්‍ය ස්වභාවය වුව ද අතීත ජන සමාජයේ අර්ථවත් දේ කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු විය. සෑම සිදුවීමක දී ම, සෑම ක්‍රියාවක දී ම ධර්මානුකූල පැවැත්ම ඇගයීමට ලක් විය. හොඳ දේ හොඳ දෙයක් ලෙසින්ම පිළිගැනීමට ලක්විය.
මේ නිසා සෑම පුද්ගලයකු පා හේම කල්පනා කළේ සමාජයට යම් මෙහෙවරක් සිදුකිරීමට ය. අපේක්‍ෂාවෙන් තොර සේවයක් සිදු කිරීමට ය. දැන උගත් පුද්ගලයා සමාජයේ අන්‍යයන්ට ද තම දැනුම ඥානය බෙදා දුන්නේ ය. ඒ ධර්ම දානයයි. එසේත් නැතිනම් බුද්ධි දානයයි.
එහෙත් වත්මන් සමාජයේ බුද්ධි දානයට පි‍්‍රය අය අවම ය. ඒ වෙනුවට බුද්ධිමය වංචාකාර පුද්ගලයන් පිළිබඳ නිතර අසන්නට දකින්නට ලැබේ. අතීත සමාජයේ තමන් සතු ශ්‍රමය අන්‍යයන් ගේ යහපත පිණිස දන් දීම යහපත් ක්‍රියාවක් ලෙස ඇගයීමට ලක්වුණි. ‘ශ්‍රමදානය’ ලෙස හැඳින්වූයේ එයයි. එහෙත් අද වන විට අනුන් වෙනුවෙන් ශ්‍රමය කැප කිරීමත් තමන් ගේ තත්ත්වයට මදි කමක් ලෙස සැලකීමට වැඩි දෙනෙක් හුරු වී සිටීම කනගාටුවට කරුණකි. තවත් කෙනෙක් අනුන්ගේ යහපත තබා තමන් ගේ සුබ සිද්ධිය වෙනුවෙන් හෝ ශ්‍රමය වැය කිරීමට අලස ය. තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනයක් නොවන සේ කාලය අපතේ හැරීම බෞද්ධ පිළිවෙත නොවේ.
දහඩිය මහන්සියෙන් උපයා සපයා ගන්නා දේ ස්වාර්ථය පිණිසත්, අන්‍යයන් ගේ අර්ථය පිණිසත් යෙදවිය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. එහෙත් පරිත්‍යාගශීලී බව අද බොහෝ දෙනා වෙතින් දුරස් වී ඇති සැටි පෙනේ. මේ අනුව මිනිස් සිතත් අන් කවරදාටත් වඩා කිසියම් වූ කිලුටකින් වෙළී පවතින බව පැහැදිලි වේ’
මිනිසුන් ලෙස උපත ලද අප අන්‍යයන් ගේ යහපත පිණිස ක්‍රියා කළ යුතු වන්නේ ඇයි. අප මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි දීර්ඝ වූ සංසාර ගමන් මඟ පුරාම උන්වහන්සේ අන්‍යයන් ගේ යහපත පිණිසම කටයුතු කළහ. බෝසත් චරිතයෙන් ඒ සඳහා කොතෙකුත් නිදර්ශන දැක ගත හැකිය. සම්බුදු පදවිය සඳහා පාරමී පුරන බෝසත්වරයකුට බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට පරාර්ථ සේවය වඩාත් මහෝපකාරී වේ. දානය උතුම් දෙයක් ලෙස බණ දහමෙහි ඇගයෙන්නේ ඒ නිසා ය.
දානය විවිධ අර්ථයන්ගෙන් විවරණය වේ. තමන් හරි හම්බ කරගත් දෙය අනුන්ට පරිත්‍යාග කිරීම දානය වන බව වැඩි දෙනා ගේ අදහස ය. අමාරුවෙන් උපයා ගත් දේ තමන් ගේ අවශ්‍යතාවයන්ටවත් ප්‍රමාණවත් නොවන කල, දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගැට ගසා ගන්නා කල අනුන්ටත් දෙන්නේ කෙසේදැ යි තවත් කෙනකු ගේ අදහස ය. එහෙත් කිසිදු වියදමකින් තොරව දිය හැකි දාන බොහෝ ය.
නිවැරැදි දේ ම කීම, බොරු නොකීම, සත්‍ය වචන කතා කිරීම, කේළාම් නොකීම, අන්‍යයන් ගේ අර්ථවත් වැඩ ගැන කතා කිරීම, පරුෂ වචන නොබිණීම, මෘදු වචන කතා කිරීම, හිස් වචන නොකියා අර්ථවත් දේ ම කීම ආදී මේ සියල්ලට මුදල් හෝ උපයා සපයා ගත් දේ වැය වන්නේ නැත. එසේ නිවැරැදි වචන කතා කිරීම උතුම් දානයකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදි අවබෝධය පමණි. එබඳු දේ සමාජයට තිළිණ කිරීම යනු වචනය මඟින් කළ හැකි උතුම් පින්කමකි.
අර්ථවත් දේ සිතීම ද මහඟු දානයකි. ජීවිතය අර්ථවත් කර ගැනීමට එය මනා පිටිවහලක් වේ. සමාජය පිළිබඳ අසුබවාදී ආකල්පයන්ගෙන් ම යුතු වීම බොහෝ අය ගේ පුරුද්දකි. මේ අය සමාජයේ අයහපතම දකිනු විනා යහපත දකින්නේ හෝ අගයන්නේ නැත. එසේ තවත් පිරිසක් අන්‍යයන් ගේ විනාශයම ප්‍රාර්ථනා කරති. සමාජය විපතට හෙලන මේ සිතුවිලිවලින් බැහැරව සැම අවස්ථාවක ම නිවැරැදි දැක්මකට අනුව, අර්ථවත් සමාජ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම සමාජයට දිය හැකි දානයකි. එසේ කටයුතු කරන පුද්ගලයා සමාජයට ආශිර්වාදයකි.
පුද්ගලයෙක් තම කාය කර්ම වුවද සමාජයට හිත කාමී ලෙස ඉටු කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යනාදියෙන් වැළකිය යුතුය. ජීවත්වන සතුනට කරුණාව දයාව දැක්වීම, සොරකම වෙනුවට අන් අයට දුන් දානය ප්‍රශංසාවට ලක්කිරීම, තමන් මෙන් ම සමාජයේ සියලු දෙනා ද තෘප්තිමත් සිතින් ජීවත් වීමට ආශාව දක්වන බව පිළිගැනීම, සමාජයට යහපතක් සිදුවන ක්‍රියාවන්ය. එසේ කටයුතු කරන පුද්ගලයා සමාජයට හිතකාමීය. සිය කාය කර්ම වැරැදි සහගත ලෙස හසුරුවන පුද්ගලයා අනර්ථකාරීය.
මිනිසත් බව ලැබීම දුර්ලභ අවස්ථාවක් වන බව බුද්ධ දේශනාවේ සඳහන් ය. අප උත්සාහ කළ යුතු වන්නේ ඒ ලද මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගෙන තමන්ටත්, සමාජයටත් අර්ථකාරී වන ලෙස ජීවිතය හැඩගසා ගැනීමට ය. බෞද්ධයන් ලෙස අප ගේ ශාස්තෲන් වහන්සේ පෙන්වා දුන් මඟ ගමන් කිරීම ය. බණ දහමින් මිනිසා හුරු කරවනු ලබන්නේ නිවැරැදි දැක්මක් සහිත, යහපත් සිතුවිලිවලින් යුතු අයකු වීමට ය.
ජීවිත කාලය පුරා අප කරන්නා වූ සියලු ක්‍රියාවන් ගේ වගකීම හිමි වන්නේ අපටම ය. ඒ වායේ අර්ථකාරී හෝ අනර්ථකාරී ප්‍රතිඵල ලබන්නේද අපම ය. උත්සාහ කළ යුතු වන්නේ හොඳ සිතුවිලි ඇති කොට, ඒවා සමාජගත කිරීම මඟින් සමාජයට අර්ථවත් පුද්ගලයකු වීමට ය.
Labels: බෞද්ධ ලිපි
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home