Sunday, December 4, 2011

ප්‍රඥාවෙන් ලෝකය දකින්නාට ‘සැකය’ උපදින්නේ නැත


ප්‍රඥාවෙන් ලෝකය දකින්නාට ‘සැකය’ උපදින්නේ නැත....

කාමජන්දය නම් පංචනීවරණ ධර්මයන්හි පළමුවැන්නය. එනම් විෂම ලෝබය යි.

යම් පුද්ගලයකු කෙරෙහි කාමජන්දය උපදින්නේත්, ඉපැදුණු විෂම ලෝබය හෙවත් කාමජන්දය දිගින් දිගටම වර්ධනය වන්නේත් ඉතා ප්‍රබල හේතුවක් නිසාය.

එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් පහට හසුවන දේ සුබ වශයෙන්, ඉතා මියුරු වශයෙන්, නිශ්චිත, වෙනස් නොවන අරමුණු වශයෙන් ගැනීම නිසා ය.

මෙම සිතිවිලි ප්‍රහාණය කිරීමේ එනම් නැති කර දැමීමේ ශක්තිය පවතින්නේ ද මිනිසාට ම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තාහ. එහෙත් ඒ සඳහා මෙහි ප්‍රතිවිරුද්ධ සිතිවිලි ඇති කර ගැනීම වැදගත් ය.

එනම් ඔබ ලෝකයේ ඔබට ගනුදෙනු කරන්නට වන ශබ්ද, රූප, රස, ගන්ධයන් මෙන් ම ස්පර්ශයන් ද අසුබ වශයෙන් සලකනවා නම්, ප්‍රණීත යැයි සිතනවා වෙනුවට අමිහිරි යැයි සිතනවා නම්, නිත්‍ය යැයි කල්පනා කරනු වෙනුවට අනිත්‍යය යැයි සිතනවා නම් කාමජන්දය නමැති නීවරණ ධර්මය ඇති වීම වැළැක්වීමට පුළුවන.

විපුලත්වය කරා ගමන් කිරීම හෙවත් එම සිතිවිලි දිගින් දිගට ම වර්ධනය වීම වළක්වා ගැනීමට පුළුවන.

දෙවැනි නීවරණ ධර්මය නම් ව්‍යාපාදයයි. එනම් අනුන් නැසීමේ, අනුන් විනාශ කිරීමේ සිතිවිලි ඇතිවීමයි. තවත් කෙනෙකුට අයිති දෙයක් නැති කර දැමීම ද ව්‍යාපාදයයි.

මෙවැනි සිතිවිලි අප ගේ සාංසාරික ජීවිතය දිගු කරනවා පමණක් නොව එම සිතිවිලි ප්‍රබල ලෙස මතු වුවහොත් ඒ ඔස්සේ ක්‍රියාකිරීම නිසා සිරගත වීමට, දඬුවම් විඳීමට ද සිදු වීමට පුළුවන. ව්‍යාපාදය උපදින්නේ කෙසේ ද යන්නත්, හටගත් ව්‍යාපාදය දිගින් දිගටම වර්ධනය වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තාහ.

ව්‍යාපාදය ඇතිවීමේ ප්‍රධාන හේතුව අපි ලබාගන්නා වූ අරමුණුවල ඇති අනිෂ්ඨ නිමිත්තයි. අප යම් දෙයකට කැමැති නොවේ නම්, දිගින් දිගට ම ඒ අකමැත්ත මත සිතිවිලි වර්ධනය කිරීමේ දී ව්‍යාපාදය උපදී. අපේ ඇස දකින්නට අකමැති රූපය නිතර නිතර දකින කල, අපේ දිව අකමැති රසය නිරන්තරයෙන් විඳින කල, නිසැකවම අනිෂ්ඨ නිමිත්ත ඇති වේ. ඒ පිළිබඳව ප්‍රඥාවෙන් තොරව මෙනෙහි කරන පුද්ගලයාට අනිෂ්ඨ නිමිත්ත පැමිණීම ප්‍රශ්නයක් වන්නේ නැත. එහෙත්, ඒ නිමිත්ත පිළිබඳ මෙනෙහි කරන්නේ ප්‍රඥාවෙන් නොවේ නම් අප පි‍්‍රය නොකරන දෙය, වෙනස් නොවන දෙයක් ලෙස සදාකාලික දෙයක් ලෙස දැනෙන්නට පටන් ගනී. එවිට එය නැතිකර දමන්නට, වනසා දමන්නට පෙළඹවීමක් ඇති වේ. ඒ ව්‍යාපදයයි. ව්‍යාපාදය ඇතිවීම වැළැකීමටත්, ඉපැදුණ ව්‍යාපාදය ප්‍රහීණ කිරීමටත් ඇවැසි නම් ඔබ නිසැකවම මෛත්‍රී චිත්තය ඇතිකර ගත යුතු ය. මෛත්‍රී චිත්ත විමුක්තිය, මෙත් සහගත සිතින් ලැබෙන සැනසීම, පිළිබඳ ප්‍රඥාවෙන් මෙනෙහි කරන පුද්ගලයා කෙරෙහි ඉපැදුණ ව්‍යාපාදයත් ප්‍රහීණ වී, නැති වී යන්නේ ය. නොඉපදුණ ව්‍යාපාදය ඇතිවන්නේ ද නැත.
තෙවැනි නීවරණ ධර්මය නම් ථීනම්ද්ධයයි. සිතේ සහ සිතිවිලිවල පවතින අක්‍රිය ස්වභාවය, කම්මැළි සහිත බව යන්න එහි සරල අදහසයි. ඔබට මෙලොව ජීවිතයේ දියුණුව ලබා ගැනීම සඳහා යන ගමනේ දී අලසකම මොනතරම් බලපෑමක් වී තිබේදැයි සිතන්න. ථීනම්ද්ධය හෙවත් සිතෙහි සහ සිතිවිලිවල අලසකම උපදින්නේ කෙසේ ද යන්න පිළිබඳ අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තාහ.

“මසිනි, මේ දුරසෙනසුන් හි හෝ අධි කුසල ධර්මයෙහි නොඇල්ම වූ අරතියද, අලස බව වූ තන්ධිය ද, ඇඟ මැලි කැඩීම නම් වූ විඡම්බිකාව ද, බත්මත නම් වූ බත්ත සම්මදය ද, චිත්තයාගේ හැකිළුණු බව වූ ලීනත්වය ද යම් සේ වේ ද එබඳු වූ අන් එක ධර්මයකුදු මම නුවණැසින් නොදක්මි.”

සිතෙහි හා සිතිවිලිවල අකර්මණ්‍ය බව උපදින්නේ යම් දෙයකට අප සිත ඇල්මක් නොවන නිසාය. දුර සෙනසුනකට ගොස් භාවනා කිරීමට, ඉතාම දියුණු කුසල ධර්මයන් පිළිබඳ ඇල්මක් නොවීම පමණක් නොව ඕනෑම දෙයකට අප කෙරෙහි කැමැත්තක් නොවේ නම් ථීනම්ද්ධය උපදී. මේ අලස බව වගේම නිරන්තරයෙන් ම වැඩි වැඩියෙන් ආහාර ගැනීම නිසාවන වන මත් ගතිය යන මේ සියල්ල අප ජීවිතයෙහි, මනසෙහි ඇතිවන ථීනම්ද්ධ නම් වූ ස්වභාවයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. ථීනම්ද්ධය මැඩලීමට අවැසි නම් වීර්යය මත පදනම් වූ ආරම්භ ධාතුවත්, අලස බවින් නික්මුණ බැවින් කම්මැලිකමට වඩා බලවත් නික්ඛම ධාතුවත්, බාධක මැද ඉදිරියට යෑමට ශක්තිය දෙන, ඊටත් වඩා බලවත් පරක්ඛම ධාතුව යන ත්‍රිවිධ මානසික ශක්තීන් ගොඩනැඟීමට පුළුවන් නම් ඉපැදුණු ථීනම්ද්දය දුරුවී යන්නේ ය. එනම් ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු යන අංශ තුන ඔබ සිතෙහි ඇති කරගැනීමට හැකි නම් නිසැකවම ඉපැදුණු ථීනම්ද්දය දුරුවී යන්නේ ය. නොඉපැදුණු ථීනම්ද්දය ද හට නොගන්නේ ය. ථීනම්ද්දයෙන් ගැලවීමට ඇති එකම මාර්ගය මෙයයි.

සිතෙහි නොසන්සුන් බව ද යම් පුද්ගලයකු ගේ සංසාරික ගමන දිගු කරන්නේ ය. මේ ලෝක ජීවිතයත් වියවුලට පත් කරන්නේ ය. සිතෙහි නොසන්සුන් බව හා විපිළිසකර බව යන අර්ථයෙන් උද්ධච්ච කුක්කුච්ඡ යන නීවණ ධර්මය සම්බුද්ධ දේශනාවෙහි පෙන්වා දී ඇත. යම් පුද්ගලයකු ගේ සිතෙහි ඉපැදුණ කුක්කුසටත්, නොඉපදුණු කුක්කුස ඉපැදීමටත් ප්‍රධාන හේතුවක් වේ. එනම් නොසන්සුන් බවයි. කෙනෙකු ගේ සිතෙහි උද්ච්ච කුක්කුච්ඡ බව හටගැනීමට නොසන්සුන් බව තරම් ප්‍රබල හේතුවක් බුදු දහමෙහි පෙන්වා දෙන්නේ නැත. අප සිත නොසන්සුන් වූ කල, දිගින් දිගටම එහිම රැඳී සිටීමෙන් දිගින් දිගට ම එය වර්ධනය වේ. ඒ නිසා උදච්ච කුක්කුච්ඡ බව ප්‍රහීණ කිරීමට ඇවැසි නම් සිතෙහි සංහිඳීම හෙවත්, සිත සන්සුන් කිරීම හැරුණු කොට වෙනත් කිසිදු ක්‍රමයක් නැති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තාහ.

පංච නීවරණ ධර්ම අතර පස්වැන්න විචිකිච්ඡාවයි. එනම් සැකයයි. සම්බුදු දහමට අනුව යම් පුද්ගලයකු කෙරෙහි විචිකිච්ඡාව උපදින්නේ විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහිය. මේ සැකය ඉපදීමේ ප්‍රධානම හේතුව බුදුරජාණන් වහන්සේ පිළිබඳ, ධර්මය පිළිබඳ, කර්මය සහ කර්මඵලය පිළිබඳ නුවණින් මෙනෙහි කරන්නට, නොහැකි වීමය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය දෙස ප්‍රඥාවෙන් යුතුව බැලීමට සූදානම් නොමැතිකම ය. බුද්ධාදී අටතැන පිළිබඳ සැකය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේ කරුණයි.

සාමාන්‍ය ජීවිතයේ දී වුව යම් පුද්ගලයකුට යම් දෙයක් දෙස ප්‍රඥාවෙන් බැලීමට නොහැකි වූයේ නම් නිසැකව ඔහු කෙරෙහි සැකය ඉපදේ. තම සැමියා ගේ හැසිරීම, ක්‍රියාකාරකම් දෙස නුවණින් නොබලන බිරිය කෙරෙහි සැකය උපදී. එසේම බිරිය ගේ ජීවිතය, රැකියාව, ක්‍රියාකාරකම්, ඇයට ඇති වගකීම් දෙස ප්‍රඥාවෙන් බලන්නට සැමියාට නොහැකි වන්නේ නම් ඔහු කෙරෙහි ද සැකය උපදී. ලෝකයේ ජීවත්වීමේ දී අප පි‍්‍රය නොකරන අය සමග ද ගනුදෙනු කරන්නට සිදුවන බව තේරුම් ගැනීමට හැකි නම්, විරුද්ධ ලිංගිකයින් සමග කටයුතු කරන්නට සිදුවන බව තේරුම් ගැනීමට හැකි නම්, එවැනි දේ සාමාන්‍ය දේ දෙස බැලීමට පුරුදු වන්නේ නම් සැකය නිසා එකිනෙකා ගැටුම් ඇති කර ගන්නේ නැත.

අද අප ගේ ජීවිතයේ වන බොහෝ අර්බුදවලට මේ පංච නීවරණ ධර්මයන් විශාල බලපෑමක් වී තිබේ. මොහොතක් කල්පනා කරන්න. සියල්ල දෙස සුබවාදී ලෙස, යහපත් ලෙස බලන කල සෑම මොහොතකම ඒ යහපත් දේ තමන් සතු කරගැනීමේ ආශාව ඇති නොවේද? සුබ දෙයක් ලැබූ තැන ඉන් අප සෑහීමට පත් වී තිබේ ද? එසේත් නැතිනම් අප නැවත නැවතත් තව තවත් යහපත් දේ වෙත හඹා යමින් සිටින්නේ ද? ඔබ මෙය අවබෝධ කරගත යුතුය. ඒ පිළිබඳ ගැඹුරින් මෙනෙහි කරන කළ ඔබටම පිළිතුර සොයා ගත හැකිය. මෙය නවතා දැමීමට නම් ලොව සොඳුරු යැයි සැලකෙන සියල්ල නැති වන බව, අනිත්‍ය බව තේරුම් ගත යුතු ය. එවිට බොහෝ ආශාවන් පසු පස හඹා යෑම නිසා ඇති කරගන්නා ගැටලුකාරී තත්ත්වයන් ගෙන් නිදහස් වීමට අවකාශය සැලසෙනු ඇත.

අකැමැති දේ අසන, දකින කල, විඳින කල ඒ සියල්ල අස්ථිරයැයි සලකනවානම්, ඒ සඳහා ශක්තිය තිබේ නම් පි‍්‍රය නොකරන දෙය වනසා දැමීම උදෙසා අප මෙහෙයවන ව්‍යාපාදය වර්ධනය නොවනු ඇත.

මේ දේවල් නුවණින් තේරුම් ගන්නට හැකි නම් මෙතෙක් විවිධ කරුණු සමඟ රණ්ඩු දබර කිරීම පිළිබඳ ඔබ කනගාටුවට පත්වනු ඇත. නිහතමානීව ඔවුන්ගෙන් සමාව අයැදීමට ඔබට ශක්තිය ලැබෙනු ඇත.

අප සිතෙහි වූ අලසකම නිසා ආර්ථික මෙන් ම අධ්‍යාත්මික වශයෙන් ද අප පිරිහීමට පත්වෙමු.

එහෙත් අරඹන ලද වීර්යයෙන් යුතුව බත්මතය පැරදවීමට හැකි වූයේ නම්, ඇඟමැලි කැඩීම නැවතීමට හැකි වූයේ නම්, ඔබ කෙරෙන් ථීනම්ද්ධය දුරු වී යනු ඇත. එමඟින් ඔබ භෞතික දියුණුව මෙන් ම අධ්‍යාත්මික දියුණුව ද උදාවනු ඇත.

ඔබ ගේ සිත සන්සුන් කරන්නට, සන්සුන් මනසින් යම් යම් දේ දෙස බලන්නට හැකි වූයේ නම් උදච්ඡ කුක්කුච්ඡය නිසා, විපිළිසර බව නිසා, නොසන්සුන් බව නිසා ඔබ ඔබට ම සිදුකරගන්නා බොහෝ විනාශයන් ගෙන් ගැලවීමට අවස්ථාව සැලසෙනු ඇත. එවිට මෙලොව ජීවිතය මෙන්ම සාංසාරික ජීවිතය ද වාසනාවන්ත වනු ඒකාන්ත ය.

ප්‍රඥාවෙන් ලෝකය දකින ඔබට, ප්‍රඥාවෙන් ලෝකය සමඟ ගනුදෙනු කරන ඔබට, කිසිම ලෙසකින් සැකය උපදින්නේ නැත. ඉපැදුණු සැකයක් වේ නම් එය දුරුවී යන්නේ ය. ඔබ කළ යුතු වන්නේ ඔබ කෙරෙහි නුවණ වර්ධනය කරගැනීමය. එවිට ඔබ ගේ නිවන් මඟ ආවරණය කරන, නිවන් මඟ වසා දමන පංච නීවරණයන්ගෙන් ඈත් වී විමුක්ති සුවය අත්විඳීමට අවකාශය සැලසෙනු ඇත.

Labels:

1 Comments:

At July 14, 2012 at 4:49 PM , Blogger Unknown said...

ප්‍රථම ධ්‍යානය සහ ද්වීතිය ධ්‍යානය ලැබූ අයෙකුගේ මනසේ ඇති වන චිත්ත රූප හා මනසේ ඇති වන වර්ණවත් ආලෝකයන් ගැන කුඩා විස්තරයක් කාරුණිකව ඉල්ලා සිටිමි

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home