Thursday, December 1, 2011

බුදු දහමට පමණක් සාධාරණ වූ විරාගී චරණය ගැන විමසුමක්


නිවන් දැකීම පරමාර්ථය කොටගත් බෞද්ධ ජීවන ප්‍රතිඥාවන් තුළ දක්නට ලැබෙන්නේ කෙලෙස් දහම් ප්‍රතික්ෂේප කරන හා ඒවායෙන් මිදී සිටීමට දරන උත්සාහයකි. එදිනෙදා ජීවන පැවැත්ම උදෙසා පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරකම්, කෙලෙස් වැඩීමට හා සසර බැඳීමට හේතුවන සාධක වර්ධනය කිරීම රහසක් නොවේ. එහෙත් බෞද්ධ පරමාර්ථය සඵල කර ගැනීමට අදාල පිළිවෙත් දිවිහිමියෙන් ආරක්ෂා කිරීමට නියම බෞද්ධයා කැපවී සිටියි. කෙලෙස් ප්‍රහීණ කළ යුත්තේ යථාභූත ඥානය උපදවා ගැනීමෙනි. ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමෙන් මෙම ඥානය උපදවාගත හැකිය.

ක්ලේශයන්හි මූල බීජය ලෙස තෘෂ්ණාව හැඳින්විය හැකි අතර පටිච්ච සමුප්පාදයට අනුව තෘෂ්ණාව යනුවෙන් හැඳින්වෙන්නේ අරමුණුවල රසය විඳීම නිසා ඇතිවන ප්‍රතිඵලයකි. තණ්හාව, කාමච්ඡන්ද, ආශාව, ආලය, ප්‍රේමය, කාමය, රාගය, ඇල්ම, ආදී වශයෙන් විවිධ නම් දරා ඇති මෙම බලවත් ක්ලේශ මූලය සත්වයාගේ උපතටද ප්‍රධාන සාධකය වී ඇති බව “තන්හා ජනේති පුරිසං” යන බුද්ධ වචනයෙන් පෙන්වා දෙයි. සෑම ප්‍රිය මනාප වස්තුවකම හා අරමුණකම අවසානය දුක, දොම්නස පිණිස පවතින බව බුදු දහමේ පිළිගැනීමයි. මෙම බැඳීම් සහගත විපතින් මිදීමට ඇති පිළිවෙත් මාර්ගය විරාගී චරණයයි. රාගය නිසා සත්වයා සසර සැරිසරමින් දුක් විඳින බැවින් එයින් මිදිය හැකි මගක් ලෙස තථාගතයනක් වහන්සේ මෙම විරාගී චරණය හඳුන්වා දුන්හ. පොදුවේ සෑම සත්වයාම කාම වස්තූන් කෙරෙහි ඇල්මක් දක්වයි. බුදු දහමෙන් කාමයන්ගේ අසාර බව ගෙනහැර දක්වා ඇත්තේ මෙසේය.

“අට්ඨි කංඛලූපමාකාමා, මංසපේසූපමා කාමා, තිනුක්කූපමා කාමා, අංගාරකාසූපමා කාමා, යාචිතකාකූපමා කාමා, රුක්ඛ ඵලූපමා, අසිතූපමා කාමා, සත්තීසූලූපමා කාමා, සප්පසිරූපමා කාමා, අග්ගිකන්ධූපමා කාමා” යන උපමාවලින් “කාමයෝ මස් ලේ රහිත ඇට වැනියහ, ලිහිණියන් ගෙන යන මස් කැටියක් වැනියහ. ඇවිලගත් තණහුලක් වැනියහ, ගිණි අගුරු වලක් වැනියහ, සිහිනයක් වැනියහ, පිරුවටයක් වැනියහ, විෂ ගෙඩි සහිත ගසක් වැනියහ, කඩුවක් වැනියහ, උල් පිහියක් වැනියහ, නයි හිසක් වැනියහ, ගිණි කඳක් වැනියහ”
මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ නොයෙක් අයුරින් කාමයන්හි ආදීනව දක්වා තිබේ. රාගය යනු සත්වයා බැඳ තබන යදමක් යැයි සංයුක්ත නිකායෙහි මාරධීතු සූත්‍රයෙහි සඳහන් වෙයි.

විරාගය පිණිස සුදුසුම ක්‍රමය මරණානුස්සතිය වැඩීමයි.

“ඒකධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, කතමෝ ඒකධම්මෝ මරණසති”
එක ධර්මයක් වඩන තැනැත්තෝ නැවත නැවතත් වඩන ලද්දේ වෙයි. එය ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස සංසිඳවීම පිණිස චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස නිර්වාණය පිණිස පවතී. එම එකම ධර්මය කුමක්ද ? මරණ සතියයි. රූපස්කන්ධය නිස්සාරත්වයෙන් පෙණ පිඩක් වැනිය. පංචස්කන්ධයේ භෞතිකමය කොටස රූපයයි. නාම රූප යනුවෙන් දක්වා ඇති බෙදීමට අනුව දිරායන්නේද රූපයයි. දිරායාම යනු ජරාවට පත්වීමයි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, යනු කාම ස්කන්ධයට අයත් කොටස් වේ. රූපය පෙණ පිඩකට උපමා වන්නේ එය යමකින් හටගෙන නැවත බිඳී බෙදී යන බැවිනි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූපයන්ගෙන් රූප ස්කන්ධය සෑදි ඇත. එම කොටස් බිඳී ගිය විට රූපය දිරායයි.

වේදනා ස්කන්ධය දිය බුබුලක් වැනිය. දිය බුබුල යනු ක්ෂණයකින් හට ගෙන එසැණින් බිඳී යන්නකි. අරමුණක් හා ගැටෙන ඉන්ද්‍රියන් පසුබිම් කොට “වේදනා” හට ගනී. සුබ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ කුමන ආකාරයේ විඳීමක් වුවද මෙම තත්වයට සාධාරණය. දිය බුබුලක් සේ බිඳී යන්නේ මෙම තාවකාලික අරමුණු නිසයි. සංඥා ස්කන්ධය මිරිඟුවක් වැනිය. එසේ වන්නේ මිරිඟුව නෙත රවටන ලෙසට සංඥාවන් හිත රවටන බැවිනි. සංඥාව යනු හැඳිනීමයි. මෙම ලෝක ස්වභාවයට අනුව සියලු හැඳිනීම් සිත මුලාවට පත් කිරීමේ ස්වභාවයෙන් යුක්තයි.

එය වෙනස් වන්නේ ප්‍රඥා ආලෝකය සෑම සංඥාවකටම එල්ල වූවොත් පමණි. සංස්කාර ස්කන්ධය සාරයෙන් තොර කෙසෙල් කඳක් වැනිය. කෙසෙල් කඳ පතුරින් පතුර එකතු වී සෑදී ඇති ආකාරයට සංස්කාරයන්ද විඤ්ඤාණය ඇසුරේ එකමත එක ගොඩගැසී ඇත. සංස්කාරයන්ගේ ස්වභාවය නම් උත්පාද ධිති භංග යන ධර්මතාවයෙන් යුක්ත වීමයි. උපත පැවැත්ම හා විනාශය සංස්කාරයන්ගේ ස්වභාවයයි. “වයධම්මා සංඛාරා, අනිච්චාවත සංඛාරා” ආදී දහම් පද මගින් පෙන්වා දුන්නේ ඒ බවයි. විඥාන ස්කන්ධයද මුලා කිරීමේ ස්වභාවය නිසා මායාවක් වැනිය. මේ ආකාරයට පංචස්කන්ධය ගැන විමසන විට සිත විරාගික වේ. රාගයෙන් තොර වේ.

විරාගී චරණයට මූලික පියවර වන්නේ සීලයයි. කය වචන හා සිත සංවර කර ගැනීම මගින් සමාහිත සන්තානයක් ඇතිකරගත හැකි වෙයි. සංස්කාරයන්ගේ යථා ස්වරූපය දැනගත හැකි විදර්ශනා ඥානය මෙයින් මුවහත් කර දෙයි. පංච සීලයත් අෂ්ඨාංග සීලයත් උපෝසත සීලයනුත් රැක ගැනීම විරාගී චරණයේ අංග ලෙස දැක්විය හැකිය.

විරාගී චරණයේ ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයයි. කායානුපස්සනාවේදී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ ප්‍රකට වෙයි. වේදනානුපස්සනා හා චිත්තානුපස්සනා මගින් ඒවා වැඩි දුරටත් දියුණු වේ. ධම්මානුපස්සනාව සිතට අරමුණු වන ධර්මයන්හි ස්වභාවයස පෙන්වා දෙයි. මේ අනුව සතර සති පට්ඨානය පුරුදු පුහුණු කරන පුද්ගලයාද විරාගී චරණයට පත්වූවෙකි. රාග ගින්නෙන් දැවෙන සන්තානය නිවා සනසා නිවනට සමීප කරවන මෙම උතුම් විරාගී චරණය මිනිස් සම්පතට දුන් අනගිතම ඇගයීමකි. එසේම බුදු දහමෙන් පමණක් පෙන්වා දෙන උත්තරීතර පිළිවෙතකි.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home