බාහිර ලෝකය හා අමනුෂ්‍යයෝ
කාලය පිළිබඳව අප කී කරුණු ගැන බටහිරයන් තව ම හිතා වත් නැත. ඔවුන් ගෙන් කිහිප දෙනකු කාලය යනු මායාවක් දැයි ප්‍රශ්න කරන බව සැබෑ ය. එහෙත් එය බටහිර ලෝකයේ සම්මතය නො වේ. පොදුවේ ගත් කල බටහිර ලෝකයට කාලය යනු භෞතික පදනමක් ඇති සංකල්පයකි. බටහිර භෞතික විද්‍යාඥයන් ඊනියා කාල හීයක් ගැන කියන්නේ ඔවුන්ට අවකාශයෙහි මෙන් නො ව කාලයෙහි එක් පැත්තකට පමණක් ගමන් කරන්නට හැකි වී ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නය ඇති බැවිනි. ඔවුන් බොහෝ දෙනකුට කාලය යන්න ප්‍රත්‍යක්‍ෂයක් බව පැහැදිලි ය. එහෙත් සිංහල බෞද්ධයනට, හදවතින් මෙන් ම බුද්ධියෙන් ද සිංහල බෞද්ධයනට, කාලය යනු පඤ්ඤත්තියක් පමණකි.
මෙහි දී ප්‍රශ්න රාශියක් පැන නඟී. පළමුව ඇසිය හැක්‌කේ, දැක හෝ නො දැක හෝ හස්‌තියකු ඇතැයි ගැනීමට හැකි ද යන්න ය. හස්‌තියා යනු සම්මුතියක් පමණක් නම් ඇත්තට ම හස්‌තියකු යනුවෙන් සත්ත්වයකු ඇත් ද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. හස්‌තියා යනුවෙන් සත්ත්වයකු ඇති බව අප නිගමනය කරන්නේ අපේ පංච ඉන්ද්‍රිය පද්ධතියට, මනසට හා සංස්‌කෘතියට සාපේක්‍ෂව ය. හස්‌තියා යන්න අපට ලැබී ඇත්තේ අපේ පංෙච්න්ද්‍රිය හා මනස, අවශ්‍ය නම් ෂඩේන්ද්‍රිය, සංස්‌කෘතිය සමඟ එක් වී අපට ඒ සම්මුතිය ලබා දී ඇති බැවිනි. අපි අපේ අවිද්‍යාව හේතු කොටගෙන හස්‌තියා යන්න සංස්‌කරණය කරගෙන ඇත්තෙමු.
අපි නිවන ද ප්‍රත්‍යක්‍ෂ කරමු. ඒ ප්‍රත්‍යක්‍ෂය වෙනස් යෑයි මම සිතමි. නිවන් ප්‍රත්‍යක්‍ෂය හා හස්‌ති ප්‍රත්‍යක්‍ෂය යනු එක ම ප්‍රත්‍යක්‍ෂයක අවස්‌ථා දෙකක් නම් නිවන් ප්‍රත්‍යක්‍ෂ කිරීම අනෙක් දෑ ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් වෙනස් විය නො හැකි ය. එහෙත් අවාසනාවකට අප නිවන ගැන කතා කිරීමේ දීත් නිවන් ප්‍රත්‍යක්‍ෂය, නිවන් අවබෝධය, නිවන් දැකීම ආදී ප්‍රකාශ යොදා ගන්නෙමු. අපට නිවන ගැන කතා කිරීමට සිදු වී ඇත්තේ ද සාමාන්‍ය ව්‍යවහාරයෙහි අප විසින් යොදා ගැනෙන වචන යොදා ගැනීමෙනි. අපට වෙනත් විකල්පයක් නොමැත. කලකට පෙර නිවන් අවබෝධයෙහි දී නැති මනස නැති මනසක් බව නැති මනසෙන් තේරුම් ගන්නා බව මා කීවේ එයට වෙනත් විකල්පයක් නොමැති බැවිනි. නිවන් අවබෝධය ලබා ගන්නේ නිවන් අවබෝධයෙන් පමණක් යෑයි අවශ්‍ය නම් කෙනකුට කිව හැකි ය. නිවන් ප්‍රත්‍යක්‍ෂය ඊනියා මනසින් කළ හැක්‌කක් නො වේ යෑයි මම විශ්වාස කරමි. ව්‍යාජ බෞද්ධ පඬියකු ඇති මනසකින් නිවන් අවබෝධ කරගත් දිනක මම ඔහු ගේ සව්වෙක් වෙමි.
අපි මෙහි දී නිවන් ප්‍රත්‍යක්‍ෂය යන්න ගැන කතා නො කරමු. අපේ අවධානය යොමු වන්නේ සාමාන්‍ය ප්‍රත්‍යක්‍ෂ පිළිබඳව ය. අප මෙහි දී ප්‍රකාශ කරන ප්‍රධාන ම කරුණ නම් ඒ සාමාන්‍ය ප්‍රත්‍යක්‍ෂය යෑයි අප විසින් හඳුන්වනු ලබන්න ද බටහිර ප්‍රත්‍යක්‍ෂයෙන් වෙනස් වන බව ය. බටහිර විද්‍යාවට හා ඒ ආශ්‍රයෙන් ගොඩනැඟී ඇති අනෙක් බටහිර දැනුම්වලට අනුව අපට ප්‍රත්‍යක්‍ෂ වන්නේ අපෙන් බාහිර ව අපෙන් ස්‌වායත්ත ව පවතින ද්‍රව්‍ය හා විකිරණ ය. බටහිරයන්ට අනුව මේ ද්‍රව්‍ය හා විකිරණ, අප ඇතත් නැතත් අපෙන් තොර ව පවතියි. එයට බටහිරයෝ බාහිර ලෝකය යෑයි කියති. ඒ බාහිර ලෝකය අපෙන් තොර ව පවතියි. එය වාස්‌තවික වෙයි. ඒ බාහිර ලෝකයට අවකාශය හා කාලය ද අයත් වෙයි. කාලය හා අවකාශය එහි දී ප්‍රධාන වන අතර, ද්‍රව්‍ය හා විකිරණ කාලයෙහි හා අවකාශයෙහි ස්‌ථිතික ව හෝ ගතික ව හෝ පවතියි. අප ඇතත් නැතත් ඒ බාහිර ලෝකය පවතියි.
අපේ උත්සාහය ඒ බාහිර ලෝකය දැන ගැනීමට ය. මෙහි දී යමකු ගේ ශරීරය ද බාහිර ලෝකයේ ම කොටසක් ලෙස ද ගැනෙන බව අමතක නො කළ යුතු ය. බටහිරයන් මහත් ඕනෑකමකින් කතා කරන පංෙච්න්ද්‍රිය ද අවසානයේ දී ඔවුන් විසින් ම බාහිර ලෝකයේ කොටස් ලෙස ගැනෙයි. අප මේ බාහිර ලෝකය දැනගන්නේ කෙසේ ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර තවත් එක් උපකල්පනයක් සඳහන් කළ යුතු ය. තවත් එක් උපකල්පනයක් යනුවෙන් සඳහන් කරන්නේ බාහිර ලෝකයක පැවැත්ම ද උපකල්පනයක් පමණක් ම වන බැවිනි. ඒ අනෙක් උපකල්පනය නම් අපට ඒ බාහිර ලෝකය දැනගත හැකි බව ය. අපට බාහිර ලෝකය දැනගත හැකි ඇයි ද යන ප්‍රශ්නයට අවශ්‍ය නම් පිළිතුරක් දිය හැකි ය. බටහිරයන්ට අනුව බාහිර ලෝකය ක්‍රියාත්මක වන්නේ නීති, එනම් නියම පද්ධතියකට අනුව ය.
අවශ්‍ය නම් එයට ද උපකල්පනයක් යෑයි කිව හැකි ය. එසේ නම් අවසානයේ දී මේ සියලු උපකල්පන අපට පහත සඳහන් අයුරින් සූත්‍රගත කරගත හැකි ය. අපෙන් තොර ව, අපෙන් ස්‌වායත්ත ව පවතින බාහිර ලෝකයක් යම් නියම පද්ධතියක් අනුව ක්‍රියා කරයි. බාහිර ලෝකයට මෙන් ම නියමවලට ද වාස්‌තවික පැවැත්මක් ඇත. ඒ නියම කවරේ දැයි අපට දැනගත හැකි ය. මීළඟ ප්‍රශ්නය වනුයේ අප ඒ නියම දැනගන්නේ කෙසේ ද යන්න ය. අපට ඒ නියම දැනගත හැක්‌කේ අපේ ඉන්ද්‍රිය මාර්ගයෙනි.
මෙහි දී බටහිරයන් ඉන්ද්‍රිය යනුවෙන් හඳුන්වන්නේ පංෙච්න්ද්‍රිය බව අවධාරණය කළ යුතු ය. මේ දැන ගැනීමේ දී මනස ආධාර කරගන්නා නමුත් බටහිරයෝ ඒ පිළිබඳව අවධාරණය නො කරති. ඔවුන් ගේ අවධාරණය පංෙච්න්ද්‍රිය ගැන ය. බටහිරයන්ට බාහිර ලෝකය යනු පංෙච්න්ද්‍රියන්ට ගෝචර ලෝකය ය. ඇතැම් විට ඉන්ද්‍රිය ගෝචර ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ ද මේ බාහිර ලෝකය ය. බටහිරයන් මෙහි දී උපකල්පනය කරන්නේ කුමක් ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට තිබිය යුතු ය.
එක් පැත්තකින් ඔවුහු අපෙන් තොර බාහිර ලෝකයක් ඇතැයි උපකල්පනය කරති. අනෙක් පැත්තෙන් ඒ අපෙන් තොර ව පවත්නා වාස්‌තවික බාහිර ලෝකය එවැනි ම වූ වාස්‌තවිකත්වයක් ඇති නියමවලට අනුව ක්‍රියා කරන බවත් ඒ නියම අපට අපේ පංෙච්න්ද්‍රිය යොදා ගනිමින් අවබෝධ කරගත හැකි බවත් උපකල්පනය කරති. වෙනත් වචනවලින් කිව හොත් අපට අපේ පංෙච්න්ද්‍රිය මඟින් වාස්‌තවික බාහිර ලෝකය දැනගත හැකි බව බටහිරයෝ උපකල්පනය කරති. මෙයින් නිගමනය වන්නේ අපට අපේ ඉන්ද්‍රිය මගින් අවබෝධ කරගත නො හැකි වාස්‌තවික බාහිර ලෝකයෙන් හෝ එහි කොටසක් හෝ නොමැති බව ය. මුළු මහත් වාස්‌තවික බාහිර ලෝකය ම පංෙච්න්ද්‍රිය ඇසුරෙන් අවබෝධ කරගත හැකි අතර අපේ පංෙච්න්ද්‍රියට අද නැත්නම් හෙට හසු නො වන බාහිර ලෝකයක් හෝ එහි කොටසක් හෝ තිබිය නො හැකි ය. අපේ ඉන්ද්‍රිය පහ මෙතරම් බලසම්පන්න දැයි කිසිවකුට ප්‍රශ්නයක් නො වන්නේ ද?
අපට නො පෙනෙන, එනම් පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන ලෝකයක් නැතැයි ගැනීම ම කෙතරම් අහංකාර ක්‍රියාවක් ද? අහංකාර යන වචනයෙහි මුල් තේරුම මම මුල් කරගත් යන්න ය. බටහිරයන්ට අනුව අපෙන් තොර ව පවතින ලෝකය අද බැරි නම් හෙට අපේ පංෙච්න්ද්‍රිය ඇසුරෙන් අපට අවබෝධ කරගත හැකි ය. බටහිර විද්‍යාව මේ අවබෝධය ලබාගන්නා මඟ ලෙස ද බටහිරයෝ සලකති. අනෙක් බටහිර දැනුම් මඟින් බටහිර විද්‍යාවේ මඟ අනුගමනය කෙරෙයි. එහෙත් මෙහි දී ප්‍රශ්නයක් වෙයි. අපේ පංෙච්න්ද්‍රියන්ට මේ මුළු මහත් වාස්‌තවික වන්නේ යෑයි කියෑවෙන ලෝකය සෘජුව ම ගෝචර වන්නේ ද?
ඒ ප්‍රශ්නයට පිළිතුරු පැහැදිලිව ම නැත යන්න ය. අප බොහෝ විට කියා ඇති පරිදි බල්ලන්ට ඇහෙන ඇතැම් ශබ්ද අපට නො ඇසේ. බල්ලන් ගේ ආඝ්‍රාණය අපේ ආඝ්‍රාණයට වඩා වර්ධනය වී ඇත. අපට චුම්බකත්වය සෘජුව දැනගැනීමට, ඒ ගෝචර වන ඉන්ද්‍රියක් නැත. එහෙත් ඇතැම් සතුනට චුම්බකත්වය සෘජුව ගෝචර වන්නේ යෑයි කියෑවෙයි. අප චුම්බකත්වය දැනගන්නේ චක්‍රව අප සතු පංෙච්න්ද්‍රිය ඇසුරෙනි. කාන්දමකට යකඩ කූරක් ඇදෙනු දකින අපි එසේ වන්නේ චුම්බකත්වය නිසා යෑයි කියමු. අප චුම්බකත්වය දැනගන්නේ චක්‍රව අපේ ඇසට පෙනෙන අන්දමට කාන්දමකට අල්පෙනෙත්තක් හෝ වෙනත් වස්‌තුවක් හෝ ඇදෙනු දැකීමෙනි. අප කලින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නැත යන්න බැවින් බටහිරයෝ තම උපකල්පනය සංශෝධනය කර මුළු මහත් වාස්‌තවික ලෝකය ම පංෙච්න්ද්‍රියන්ට සෘජුව හෝ වක්‍රව හෝ ගෝචර වන්නේ යෑයි කියති.
වාසනාවකට හෝ අවාසනාවකට හෝ කාන්දම්වලට ලෝහ ආකර්ෂණය කෙරෙනු අපට දැකිය හැකි ය. කාන්දම යන වචනය තැනී ඇත්තේ කාන්ත යන වචනයෙනි. සූරියකාන්ත යන්නෙහි තේරුම සූර්යයාට ආකර්ෂණය වන, ඇදෙන යන්න ය. කාන්තාවනට එසේ කියන්නේත් ඔවුනට පිරිමින් ආකර්ෂණය වන බැවිනි. එහෙත් යම් අයුරකින් කාන්දමක් හා ලෝහ කැබැල්ලක් අතර අන්තර්ක්‍රියාව තිබී එය අපේ පංෙච්න්ද්‍රියන් ගෙන් කිසිවකට වක්‍රව වුවත් ගෝචර නො වී යෑයි සිතමු. දැන් බටහිරයන් කියන්නේ එවැනි අන්තර් ක්‍රියා එනම් අපේ පංචෙන්ද්‍රියට වක්‍රව හෝ සෘජුව හෝ ගෝචර නො වන අන්තර් ක්‍රියා නො පවතින බව ද? මුළු මහත් වාස්‌තවික බාහිර ලෝකය ම අපට සෘජුව හෝ වක්‍රව හෝ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන්නේ යෑයි කී විට අපේ ඉන්ද්‍රියවලට ගෝචර නො වන ලෝකයක් නැතැයි කීමට සිදු වෙයි.
බටහිරයන් හා ඔවුන් ගේ ආසියාතික හා අප්‍රිකානු අනුකාරයන් පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන ලෝකයක් ප්‍රතික්‍ෂෙප කරන්නේ මේ උපකල්පනවල පිහිටීමෙන් මිස වෙනත් ආකාරයකින් නො වේ. ඔවුහු තමන්ට ප්‍රබුද්ධයන් යෑයි කියා ගනිති. ප්‍රබුද්ධයන් යනු මොවුන් නම් ප්‍රබුද්ධයකු වීමේ වැදගත්කමක් නැත. මේ ප්‍රබුද්ධයෝ අමනුෂ්‍යයන් ගේ පැවැත්ම ප්‍රතික්‍ෂෙප කරති. ඒ අමනුෂ්‍යයන් අපේ පංෙච්න්ද්‍රියට ගෝචර නො වන නිසා ය. බටහිර භෞතික විද්‍යාවේ සඳහන් වන තන්තු (එරසබටි) ලක්‌වාක් (ම්රන) ආදිය පමණක් නො ව ඉලෙක්‌ට්‍රොන ආදී ඊනියා මූලික අංශුද ඉන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් ඒ වස්‌තුවල පැවැත්ම, එනම් භෞතික පැවැත්ම, පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයෝ කිසිදු මැළිකමක් නො දක්‌වති. අඩු ම තරමින් බටහිර භෞතික විද්‍යාඥයන්ට ඒ වස්‌තු සඳහා ගණිත ආකෘති ඇත. (ගණිත ආකෘතියකට කිසි ම භෞතික පදනමක් නැත. ගණිතය යනු හුදෙක් ගණිතඥයන් ගේ මනසෙහි පවත්නා වියුක්‌ත දැනුමක් පමණක් වෙයි). මෙරට අනුකාරකයන් ඒ පිළිගන්නේ අර වියුක්‌ත ගණිත ආකෘති ගැන ද අබමල් රේණුවක වුව දැනුමක් නොමැති ව ය. ඒ ඔවුන් ප්‍රබුද්ධයන් නිසා ය.
එහෙත් මෙහි දී ප්‍රබුද්ධයන් මෙසේ කියනු ඇත. “තන්තු, ඉලෙක්‌ට්‍රොaන ආදිය මත ගොඩනැඟෙන ආකෘතිවල නිගමන අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වෙයි. එහෙත් අමනුෂ්‍යයන් පදනම් කර ගනිමින් ගොඩනැඟෙන ආකෘතිවලින් ලබා ගන්නා නිගමන අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වෙයි. එබැවින් ගණිතය වියුක්‌ත වුවත් නැතත් ඒ අපට තේරුණත් නැතත් අපි තන්තු හා ක්‌වාක් පිළිගනිමු. එහෙත් අමනුෂ්‍යයන් නො පිළිගනිමු. අමනුෂ්‍යයන් බාහිර ලෝකයට අයත් නැත.”
මහාචාර්ය නලින් ද සිල්වා
Labels: බෞද්ධ ලිපි
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home