Saturday, November 26, 2011

කොසොල් රජතුමාගේ දසවන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එක ම හැලියේ ඉදෙන බත අපාක වෙනවා දැක්කා. අපාක වෙනවා කියන්නේ පලා බෙදා තැබුවාක් වගේ බත ඉදෙන්නේ තුන් විදියකට යි. ඒ කියන්නේ එක කොටසක් හොඳට ම බෙරි වෙනවා. තවත් කොටසක් නො තැම්බුණු සහල් වලින් යුක්ත යි. අනෙක් කොටස හොඳට ඉදෙනවා. එක ම බත් හැලියේ බෙරි වුණ බතු යි, හාලු යි, හොඳට ඉදුනු බතු යි කියන තුන් කොටස ම තියෙන විදියට තමයි ඉදෙන්නේ. මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

“මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. රජවරු අධාර්මික වූ විට රාජකාරිවල යෙදී සිටින පුද්ගලයින් ද, බ්‍රාහ්මණ ගෘහපතිවරු ද, ගම් නියම් ගම් වැසියන් ද, ශ්‍රමණබ්‍රාහ්මණයින් ද ඇතුළු මේ සියලු මිනිසුන් අධාර්මික වෙනවා. එතකොට ඒ පිරිස් වලට අරක්ගත් දේවතාවන්, බලි බිලි පිලිගන්නා දේවතාවන්, වෘක්ෂ දේවතාවන්, ආකාසවාසී දේවතාවන්, ඇතුළු දේවිවරුද අධාර්මික වෙනවා. අධාර්මික රජවරුන් ගේ ගේ රටවල් වල විශම වූ මහා සුළං හමා යනවා. ඒ සුළං ආකාසයේ පවතින දේවතා විමාන කම්පා කරනවනවා. එම විමාන කම්පා වූ විට ඒ විමන් වැසි දෙවියන් කුපිත වෙනවා. කුපිත වී වැසි වසින්නට නො දෙනවා. වසින් වැස්සක් වුණත් මුලු රටට ම එක වගේ වහින්නේ නැහැ. වැස්සක් වැස්සත්, ගොවිතැන් ආදියට උපකාර වන විදියට වහින්නේ නැහැ. නගරයේ යම් සේ ද, ඒ ආකාරයෙන් ම පිටිසර ත්, වැව් පොකුණු විල් වලටත් එක වගේ වහින්නේ නැහැ. වැව් ඉස්මත්තට වහිනවා නම් වැව යට ප්‍රදේශයට වසින්නේ නැහැ. යට ප්‍රදේශයට වසිනවා නම් වැව් ඉස්මත්තට වහින්නේ නැහැ. සමහර ප්‍රදේශවල ගොයම් අධික වර්ෂාව නිසා විනාශ වී යනවා. සමහර ප්‍රදේශවල ගොයම් වැස්ස නැති නිසා මැරී යනවා. සමහර ප්‍රදේශවල පමණක් සම වර්ෂාව ඇති වී හොඳින් අස්වනු ලැබෙනවා. මේ විදියට එක ම රජ ‍කෙනෙකුගේ රාජ්‍යයේ වපුරණ ලද ගොයම් එක හැලියේ පැහෙන බත් තුන් කොටසක් වූවා ක් වගේ තුන් විදියකට තමයි පැහෙන්නේ. මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home