Wednesday, November 23, 2011

ජිව්තය නම් තණ අග පිනි බිදු වැන්නේ


ජීවයක උපත සමඟ කියැවෙන ය අනෙක් වචනය වන්නේ මරණය යි. උපතක් ඇති වන තැන මරණය නියත ය. ඒ යථාවබෝධයෙන් මිදෙන්නට කිසිම කෙනෙකුට නොහැකිය. උපත සමඟ නියත මරණය කෙනෙකුට කොයි මොහොතක ළඟා වේදැයි කිසිවෙකුට කිව හැකිද ?,

සමහරෙක් කෙටි ආයුෂ ලබති. තවත් සමහරෙක් දිගු ආයුෂ ලබති. එය එයාකාරයෙන් සිදු වන්නේ පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් හේතු කොට ගෙනය. තතු කෙසේ වෙතත් මෙලොව ජීවත් වන සෑම සත්ත්වයකු තුළම මරණයට ඇත්තේ බියකි. මේ මරණ බිය පහ කර ගන්නේ කෙසේ ද ? අද අපි මීගහවෙල සුමනශාන්ත ගරුතර ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡාවට බඳුන් කරනුයේ “මරණය” නම් වූ මාතෘකාව ය.

“මරණය” යන අකුරු හතරට බොහෝ දෙනෙක් බියක් දැක්වූවත් ඒ පිළිබඳව යථාවබෝධය ඇති කර ගත් විට එම අවස්ථාවට කාටත් සාර්ථකව මුහුණ දිය හැකි බව බුදු දහමේ සඳහන් වෙයි. යම් අයෙකු චුති චෛතසිකයට පත්වන මොහොතක පින් පව් චෛතසිකය මුල් වීමෙන් සුගතියට හෝ අගතියට පත් වන බැව් විශ්වාස කළ හැකිය. එසේ හෙයින් ඉතා වැදගත් වනුයේ මරණ මංචකයේදී චිත්ත සංතෘෂ්ටිය ඇති කර ගෙන අවසන් හුස්ම හෙළීමය. මේ සඳහා මරණාසුන්භාවය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.:

කෙනෙකු දිනපතා තමන්ගේ ආගම අදහන අවස්ථාවේදී බුද්ධානුස්මති භාවනා මෙන්ම මරණානුස්සතිය භාවනා කිරීම ද ඉතා වැදගත් වේ. මෙය පුරුදු කර ගත් විට මරණය පිළිබඳ යථාවබෝධය මෙන්ම මරණය සුබවාදී සිදුවීමක් බැව් විශ්වාස කළ හැකිය. එසේ නොවූ විට මරණ මංචකයේදී චුති චෛතසිකයට තමන් විසින් කරන ලද පාප ක්‍රියාවක් සිහිපත් වු විට බිය සැක ඇති වීමෙන් බොහෝ ආපදාවන්ට ලක් විය හැකිය. සමහර අයට මේ බිහිසුණු අත්දැකීම් හේතු කොට ගෙන මළ මුත්‍රා පවා පිටවීම සිදු වේ. බොහෝ දුක් වේදනාවන්ට පත් විය හැකිය. එසේ සිදුවනුයේ මේ පිළිබඳව නිසි අවබෝධය නොමැති වීමෙනි.

එබැවින් මේ යථාර්ථය අවබෝධ කර ගෙන මරණය සුබ සිදුවීමක් ලෙස වටහා ගෙන සිත පාලනය කර ගැනීමෙන් තමන්ට පහසු ලෙස සිනහමුසු මුහුණින් අවසාන මොහොතට; එනම් “මරණය” සිදු කර ගැනීමට ඉඩ සලසනු ලබනු ඇත. බොහෝ විට කෙනෙකු විසින් දරුණු පාප ක්‍රියාවන් පිළිබඳ යටපත් කර ගැනීමේ උත්සහය ධර්මය තුළින්ම අවබෝධ කර ගත හැකිය. ලුණු කැටයක ලුණු රස ඇතත් එම ලුණු කැටය විශාල ජල බඳුනකට දැමූ විට එම ලුණු රසය අඩු වනවා සේ යම් කෙනෙකු විසින් සිදු කළ පාප ක්‍රියාවක් ද කුසල් ශක්තිය තුළින් කෙමෙන් දුරු කර ගැනීමට ආත්ම ශක්තියක් පහළ වනු ඇත. අංගුලිමාල වැනි බිහිසුණු පුද්ගලයන් පවා කුසල් බලයෙන් රහත් බවට පත් වුවා සේ බුදු දහම අනුව සෑම කෙනෙකුටම සියලු අකුසල් දුරු කර ගැනීමේ භාග්‍ය බුදු දහම තුළින්ම උදා කර ගත හැකිය. එසේ හෙයින් ඊට දැඩි අධිෂ්ඨානයකින් මුහුණ දිය යුතුව ඇත.

සාමාන්‍යයෙන් රැකියාවක් කරන කෙනෙකු උසස් වීමක් ලබා ගැනීමට ආසාවක් දක්වන්නා සේම මේ මනුෂ්‍ය ආත්මයේ ද උසස් වීම් ලබා ගැනීමට අප විසින් උත්සහ කළ යුතුය. අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ පසු රැකියාවේ උසස්වීම් ලබා ගන්නා සේ මනුෂ්‍ය ආත්මයේ ද කුසල් ශක්තිය වර්ධනය කර ගත් විට ඒකාන්තයෙන්ම සුගති ආත්මයක් අත්වනු නියතය.

එසේ හෙයින් නියම බෞද්ධයකු නිසි ලෙස කුසල් වඩා මේ දුක්ඛිත ගොහොර සසරින් මිදී සුගති ආත්මයකට පත්වීමට ආසාව ඇති කර ගැනීම මැනැවි. එවිට මරණය තමන්ට වෙස් වලා ගත් ආශිර්වාදයක් ලෙස වටහා ගත හැකිය.

එබැවින් ඉතා වැදත් වනුයේ තමන් විසින් කරන ලද ක්‍රමවත් කුසල් සම්භාරය නිතර නිතර ආවර්ජනය කිරීමයි. එවිට මරණ මංචකයේදී ඔබට එම කුසල් සිහිපත් වීමෙන් නිසැකයෙන්ම සුගති ආත්මයක් උරුම වනු ඇත. මරණ මංචකයේදී අපගේ සිතට පහළ වෙන්නේ තමන් කළ අකුසල් ක්‍රියාවන් නම් එහි ප්‍රතිඵලය වනුයේ මරණයෙන් පසු ආත්මය අගතියට පත් වීමය.

“මරණය” පිළිබඳ කතා කිරීමේදී ම සිතට නිරන්තරයෙන් දැනෙන රජවරු දෙදෙනෙක් වෙති. මුලින්ම මම භාරතයේ විසූ අශෝක මහ රජතුමා ගැන මතක් කරන්නම්. අශෝක රජතුමා එදා කෝටි අසූ හතර දහසක් තරම් විශාල ධනස්කන්දයක් බුදු දහමේ ප්‍රචාරණය වෙනුවෙන් වැය කොට කටයුතු කළ ධාර්මික රජ කෙනෙකු ලෙස ප්‍රකටය. එතුමා ගේ දරු දෙදෙනා වූ මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට එවා බුදු දහම වෙනුවෙන් උදාර මෙහෙවරක් සැලසූ බව ප්‍රකට කරුණකි.

බුදු දහම වෙනුවෙන් එවන් සුවිශාල මෙහෙවරක් කළ අශෝක රජතුමා මරණ මංචකයේදී තමන්ගේ පුණ්‍ය සිතුවිලි යටපත් වී අකුසල් සිතිවිලි මුදුන්පත් වීම හේතු කොට ගෙන අගතිගාමීව පිඹුරෙක්ව ඉපදුණු බැව් සඳහන් වේ.

එහෙත් දුටුගැමුණු රජතුමා යුද වැද කලකිරීමට පත්ව සිටි බැව් අප දන්නා කරුණකි. බහුතරයකගේ යහපත පිණිස එතුමා යුද්ධයෙන් ජය ගත්තත් ප්‍රාණඝාත අකුසලයට හේතු විය හැකි බව වටහාගෙන එම අකුසල් සිතිවිලි යටපත් කර ගැනීමට තමන් විසින් කරන ලද සියලු පුණ්‍ය කටයුතු සිහිපත් කිරීමට නිරන්තරයෙන් අදිටන් කර ගෙන තිබුණි. රට ආක්‍රමණය කරමින් දරුණු ලෙස යුද වැදී යුද්ධයෙන් මිය ගිය එළාර රජ වෙනුවෙන් දුටුගැමුණු රජතුමා චෛත්‍යයක් පවා ඉදි කරමින් ප්‍රණාම පළ කළේ ඒ නිසයි. එලෙස දුටුගැමුණු රජතුමා මෛත්‍රී සහගත සිතිවිලි වඩවා ගැනීමෙන් තමන් විසින් කරන ලද මහා පුණ්‍ය සම්භාරය පිං පොත් කියවා නිතර කියවා අවබෝධ කර ගැනීමෙන් පුණ්‍ය සිතිවිලි වර්ධනය කර ගැනීමට මග සලසා ගත්තේය.

අවසානයේ මිය යෑමට දින කිහිපයකට පෙර තම සොයුරු සද්ධාතිස්ස කුමරාට කතා කොට කීවේ තමා මිය යෑමට කලින් තමන් විසින් ඉදි කරන ලද රුවන්වැලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ළඟට ගෙන යන ලෙසයි. සද්ධාතිස්ස කුමාරයා දුටුගැමුණු රජුගේ ඉල්ලීම ඉටු කරමින් රුවන්වැලි චෛත්‍ය අබියසට රැගෙන ගොස් චෛත්‍ය රාජයාණන් පෙනෙන ලෙස විසීමට ඉඩ කඩ සලසා දුන්නේය. ඒ කාලය තුළ දුටුගැමුණු රජතුමා මහත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව තමන් විසින් කරන ලද ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් ළඟ යුගයෙන් යුගයට බුදු සසුන බැබලේවා ! අනන්ත අප්‍රමාණ හුදී ජනතාවට සෙතක් ශාන්තියක් වේවා යනුවෙන් ප්‍රාර්ථනා කොට අවසන් හුස්ම හෙළා මිය පරලොව ගොස් තුසිත දිව්‍ය ලෝකයේ ඉපැදුණු බැව් ඉතිහාසයේ සඳහන් වෙයි.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home