Thursday, November 24, 2011

වීර්යය පාරමිතාව


වීර්යය නම් වූ ධෛර්යවන්ත බව බුදුබව සඳහා යොමු කොට ගෙන කටයුතු කිරීම වීර්යය පාරමිතාවයි. ඒ වීර්යය බුද්ධිමත්ව දියුණු කර ගත යුතු ය. එසේ නොවුනහොත් එය පාපක්‍රියාවනට යොමු කරවිය හැකි බැවිනි. දන්දීම, සිල්රැකීම, ධුතංග ආදී ප්‍රතිපදා පිරීම සහ අන්අයගේ යහපත පිණිස යෙදවීම පුණ්‍ය ක්‍රියාවන්ගේ ගණයටම වැටෙන්නේ ය.

“කරුණුපාය කෝසල්ල පරිග්ගහිතො කාය චිත්තේහි පරහිතාරම්භෝ වීරිය පාරමිතා” යනුවෙන් චරියා පිටක අටුවාවෙහි දක්වා ඇත්තේ මහ බෝසතුන්ගේ වීර්යය කරුණාව මුල්කරග් උපායශීලී පරහිත පිණිසම යොමුකරවනු ලබන පාරමිතා” ගුණයක් බව ය. මහ බෝසතුන්ගේ වීර්යය කරුණාව මුල්කරගත් උපායශීලී පරහිත පිණිසම යොමුකරවනු ලබන පාරමිතා ගුණයක් බව මෙයින් කියැවේ. උත්සහයෙන් ලබාගත යුතු ඉහළම තත්ත්වය ලොව්තුරා බුදු බවයි. වීර්යයට ප්‍රතිවිරුද්ධ දෙය නම් ථීනමිද්ධයයි. එනම් උත්සහය බැහැරකර දමන කම්මැලිකමයි. මේ අලසබව නිසා මෙලොව උපත ලබා ඇති අප සියල්ලෝම තම තමන්ගේ දියුණුවට අදාළ එදිනෙදා කළයුතු කටයුතුවලින් නිතර නිතරම පසු බසින බව පරාජයට පත්වන බව ප්‍රකට කරුණකි. එනිසා අප කරන යහපත් සෑම ක්‍රියාවකදීම ඒ කටයුතු පටන් ගන්නා උත්සාහය ඇති කරගත යුතු ය. ආරම්භ ධාතු යන වචනයෙන් අර්ථවත් කරන්නේ ඒ අදහසයි.



හොඳින් සිතා බලා එහි ඇති හොඳ පැත්ත හා නරකපැත්ත ගැන ද විමසිලිමත්ව අරඹා වැඩකටයුතු කිරීමෙන් ම අත්දැකීම් ඇති පුද්ගලයින්ගේ උපදෙස් ද ලබාගෙන වැඩක් ක්‍රමවත්ව ආරම්භ කළ යුතු ය. වැඩක් පටන් ගන්නේ දැඩි බලාපොරොත්තුවක් ඇති උත්සාහ වන්තයෙකු බැවිනි. ඔහුට මේ කියන ආරම්භ ධාතු නමින් දැක් වූ නිවැරැදිව වැඩක් පටන් ගැනීමේ උත්සාහය තිබිය යුතුය. බෝසත් ගුණ පුරන භවතුන් කෙරෙහි මේ ගුණය පැහැදිලිව දක්නට ලැබේ. දෙවැන්න බෝසත් ගුණ ඇති පින්වතා හෝ පින්වතිය තම කාර්යයභාරය කුසීත කමකින් තොරව අතර මඟ අතහැර නොදමා දිගටම පවත්වාගෙන යෑමේ උත්සාහයක් – අධිෂ්ඨානයක් තබාගත යුතු ය. මේ අනුව පටන්ගත් කටයුතු නොකඩවා කරගෙන යාමද බෝසත් ගුණයක් වූ “නික්ඛම” ධාතු නම් වේ. මෙහි දී කිවයුතු විශේෂ කරුණක් තිබේ. බෝසත් ගුණය ඇති පින්වතිය වශයෙන් සඳහන් කෙළේ බුදු බවට පත්වීමට කැමැති අධිෂ්ඨානයක් ඇති පින්වත් කාන්තාවකට ද පින්දහම් කර ගැනීමෙන් යහපත් පුරුෂ භාවයන් ලබා ගත හැකි බව ය.

යහපත් ගති පැවැතුම් ඇති ඒ පුරුෂ ආත්මය ගත කිරීම නිසා ඇය ලැබූ ඒ පුරුෂ ආත්මභාවය නොකඩාව භවයෙන් භවයට දිගටම පවත්වාගෙන යා හැකි ය. මහ බෝසතාණන් වහන්සේ ද සුමේධ තාපස කාලයේ දී ලොව පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේට කල්ප ලක්ෂ ගණනකට කලින් ලොව පහළ වූ තවත් දීපංකර බුදුරජාණන් වහන්සේ නමකගේ සමයෙහි කාන්තාවක්ව උපත ලැබුවා ය. ඇය උපත ලැබුයේ ඒ ඈත කාලීන දීපංකර බුදුරදුන්ගේ ම පිය රජුගේ දියණියක වශයෙන් වෙනත් බිසවකගේ කුසිනි ඇය අනගාරික ජීවිතයක් ගත කරමින් සුවිශේෂ පින්කම් කර කියා ගෙන ජීවත් වන අතර, මහඟු පින්කමක් සිදු කර ගත්තා ය.

තමාට අයිති භූමි භාගයක වටිනා දුර්ලභ ඖෂධීය අබ වර්ගයක් වපුරා, ඒ අබ හේනට සාත්තු කොට නෙළාගෙන එළ අබ බවට පත් කරගෙන පිරිසුදු කර තෙල් හිඳ ඒ ඈත කාලීන දීපංකර බුදුරජාණන් වහන්සේටත්, දහස් ගණනක් මහරහතන් වහන්සේලාටත්, අබතෙල් පූජාවක් කොට “මේ අබතෙල් පූජාවේ බලයෙන් මටත් මගේ සහෝදර දීපංකර බුදුරජාණන් වහන්සේට සේම අනාගතයේ දී බුදුබවට පත්වීමට හැකිවේවා” එම ආත්මයේදීම මේ අබවලට කියන නාමය වු “සිද්ධාර්ථ” කියන නාමයම මට ලැබේවායි ද ප්‍රාර්ථනා කළා ය. එදා ඒ ඈත කාලීන දීපංකර බුදුරජාණන් වහන්සේ තම අග්‍රශ්‍රාවක නිසභ තෙරුන් ප්‍රධාන මහා සංඝයාට මෙසේ වදාළ හ.

“ඇවැත්නි, මහණෙනි, මේ ඖෂධීය බල ඇති අබතෙල් පූජාව මගේ නැගණිය සිතා මතා කල්පනා කොට කරන ලද පින්කමකි. ඈත දේශයකින් ගෙන්වා ගත් මෙම දුර්ලභ අබ ඇට සුවිශාල හේනක වපුරා සාත්තු කොට තෙල් හිඳ බුදුන් ප්‍රමුඛ මහ රහතුන්ට පූජා කරන ලද්දේ ආරම්භ කළ උත්සාහය නොකඩවා සිදු කරන වෑයමක් ඇය තුළ පැවැති බැවිනි. මගේ අග්‍රශ්‍රාවක නිසභ තෙරුන් ඉදිරිපිට ඇය තැබූ ප්‍රාර්ථනාව අනුවම අදින් අසංඛ්‍යකල්ප ලක්ෂ 16 කට පසු මැයගේ මේ ප්‍රාර්ථනාව පරිදිම ගෞතම ගෝත්‍රයේ උපත ලබා සිද්ධාර්ථ නාමයෙන් බුදු බවට පත් වන්නේ යැයි වදාළ සේක. මහ රහතන් වහන්සේලාට ප්‍රකාශ කළ මේ කාරණය ආරංචිවීමෙන් පසු මහත් වූ සතුටට පත් ඕතොමෝ ඉන්පසු ආත්මවල බුදුබවට පත්වනතුරාම පුරුෂ ජීවිතයක්ම ලැබුවා ය. කාන්තාවකට උවද බුදුබවට පත් විය හැකි යැයි ඉහතින් සඳහන් කෙළේ මෙකී කාරණා නිසා ය.

මෙවන් අයුරින් විවිධ පින්කම් කොට පුරුෂ ආත්ම ප්‍රාර්ථනා කළ හැකි ය. සසර උපදින අපි ඇතැම් ආත්මවල පුරුෂ ජීවිත ලබති. තව සමහර ආත්මවල ස්ත්‍රීභාවයෙන් උපදිති මෙය සත්ත්ව ප්‍රජාව කෙරෙහි බලපාන කරුණක් වන්නේ ය. ස්ත්‍රී ආත්මයක් ලබන්නේ අකුසලයක් නිසා බව නොසිතිය යුතු ය. කාන්තාවෝ ද බලවත් පුණ්‍ය බල ඇතිව උපත ලබති. රාජ රාජමහාමාත්‍ය ආදී තනතුරු ද ලබති. ඒ ඔවුන් සසර දී කරගත් කුසලයන්ගේ බලයයි. එහෙත් පුරුෂයෙකුට තරම් නිර්භය බවක්, ආරක්ෂිත බවක්, කාන්තාවකට නැත. ඒ කරුණු හැර වෙන කිසිවකින් කාන්තාවෝ දෙවැනි බවට පත් නොවේ. ඒ බව බුදු රදුන් විසින්ම නොයෙක් තැන්හි වදාරා ඇත. මෙහෙණි සස්නක් ඇති කළ සේක් ද ඒ නිසාම ය.

මේ කාරණය පැහැදිලි කෙළේ “ආරම්භ ධාතු” සහ “නික්ඛම ධාතු” යන කරුණු දෙක විස්තර කරගෙන යෑමේ දී ය. මීළඟට “පරක්කම ධාතු” යනු කුමක් දැයි පැහැදිලි කළ යුතුව තිබේ. එනම් කවර ආකාරයක වුවද වැඩක් ආරම්භ කිරීමටත් පෙර කී පරිදි එය පවත්වාගෙන යෑමටත් අනේකවිධ කරදර බාධා පැමිණීම මේ ලෝකයෙහි පවත්නා ස්වභාවයකි. ඒ කවර ප්‍රශ්නයක් මතු වුව ද නොපැකිළව උත්සාහයෙන් යුතුව තම අරමුණ මුදුන්පත් වන තුරු අඛණ්ඩව සිදු කරගෙන යෑම “පරක්කම ධාතු” යනුවෙන් පැහැදිලි කොට ඇත. ඒ අනුව බාධා පැමිණුනුවිට තම උදාර කටයුතු අත්හිටුවා දැමීම පුරුෂ පරාක්‍රමය නොවේ. ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් හෝ තම වැදගත්, අර්ථවත් කටයුතු බාධා මැඩගෙන ඉදිරියටම පවත්වා ගෙන යා යුතු ය. දුෂ්කරම, අමාරුම දෙය එයයි. වීර්යය පාරමිතාව උගන්වන තැන “පරක්කම ධාතු” නමින් දක්වා ඇත්තේ මේ උදාර ගුණාත්මක ශක්තිය මැ බව දැක්විය යුතු ය. වීර්යය පාරමිතාව පුරන්නාගේ ප්‍රමුඛ ලක්ෂණය මෙයයි.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home