Thursday, November 24, 2011

ක්ෂාන්ති පාරමිතාව


ක්ෂාන්තිය යනු ඉවසීමයි. අපේ ඉවසීම නැති කරන බොහෝ කරුණු ඇත. අධික සීතල, අධික උෂ්ණය ඒ නිසා පැමිණෙන පීඩා, බඩගින්න, පිපාසය, ඇසුරු කරන අයගෙන් එන කරදර, ලෙඩදුක් ආදිය පමණක් නොව, අමුනුෂ්‍ය දෝශ, තිරිසන්ගත සතුන්ගෙන් පැමිණෙන පීඩාදී විවිධ කරුණු නිසා අප තුළ පවත්නා උපශාන්ත ගති නැති වෙයි. ඒ කවර හිංසාකාරී කායික මානසික පීඩාවකට වුවද, මුහුණ දීමට සිදු වූ විට ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව ක්ෂාන්තියයි. ඛන්ති යනු ද එම අර්ථය මය. මේ කියන ඉවසීම ඇතිකර ගැනීමට වඩාත්ම අමාරුවන්නේ අපේ සිත් සතන් තුළ ඉහත කී කරුණු නිසා පහළවන ලෝභය, ද්වේෂය, මෝහය නැමැති අකුසල් නිසා ය.

එබැවින් මේ ඉවසීම බුදුබව ලැබීමට අවශ්‍ය ගුණයන්ගේ හයවැනි පාරමිතාව වශයෙන් දක්වා තිබේ. ඉවසීමක් නැති කෙනෙකුට බුදුබව ලැබීමක් තබා මේ ජීවිතයේ දී වත් කිසිම ප්‍රගතියක් ඇති කර ගත නොහැකි ය. ඇසුරු කරන්නා අතර, නිතර අඩදබර ඇති කර ගැනීම ඉවසීමක් නැති පුද්ගලයාගේ ස්වභාවයයි. මේ ක්ෂාන්තිය නමින් දැක්වෙන ඉවසීමේ උදාර ගුණය බලා සිටියදීම තම ජීවිතය දියුණුවට පත්කර ගැනීමට උපකාර වන ධර්මයකි. අප යමක් ගැන සිතන විට ද ඉක්මන් නොවී කලබල නොවී සන්සුන්ව ඇසෙන දෙයක් ගැන හෝ පෙනෙන දෙයක් ගැන හෝ ඉවසීමෙන් ම අපක්ෂපාතීව සිතිය යුතු වන්නේ ය. එසේම යමක් කියන විට වුව ද බෙහෙවින්ම ඉවසිලිවන්තය. ඒ කියන දෙය පිළිබඳව ඇහුම්කම් දිය යුතු ය. ඇතැම් අයට ඉවසීමේ ගුණය කෙතරම් දුර්වලව පිහිටා තිබේ ද කියතොත් අන් අය කියන දේ අහගෙන ඉඳීමටවත් ඉවසීමක් නැත.



තව කෙනෙක් කතා කරන අතරේ ඔහුගේ හෝ ඇයගේ අදහස් පළ කිරීමට ඉඩ නොදී අතරමඟ කඩා පැන අවුල් වියවුල් ඇති කරනා අයුරු කොතෙකුත් අවස්ථාවන්වලදී දැක ගත හැකි ය. ඒ අනුව මේ ඉවසීම උත්කෘෂ්ඨ ගුණයක් වන්නේ තම අදහසට එකඟ නොවූව ද ඒ කියන කියමන ඉවසීලිවතන්තව අසාගෙන සිටීමට තරම් හික්මුණු කෙනෙක් බවට පත්වීම ය. එතරම්වත් ඉවසීමක් පුරුදු කර නොගත් පුද්ගලයාට මොලොව පිරිහීමත් පරලොව දුගතියත් හැර වෙනත් සැපතක් නම් නොලැබෙන්නේ ය. තව කෙනෙක් කියන දෙයක් අසාගෙන සිටීමට තරම් ඉවසීමක් නැති පුද්ගලයා කෙසේ ක්ෂාන්තිය නම් වු ඉවසීම දියුණු කරන්නෙක් වේ ද ? බුදු පසේ බුදු මහ රහත් බව පතන උදාර ගුණ ඇති පුද්ගලයෝ උපදින උපදින සෑම භවයක් පාසාම මෙසේ ක්‍රම ක්‍රමයෙන් ඉවසීම දියුණු කොට මාරාන්තික විපතකට පත්වන අවස්ථාවන්වලදී වුවද හිත දුෂ්‍ය කර නොගෙන ක්ෂාන්තියම දියුණු කර ගනිති.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home