Friday, November 25, 2011

උපත හා මරණය


ජීවිතය දියත් කළ පසු එය වෙඩි උණ්‌ඩයක්‌ මෙන් කෙලින්ම මරණයේ ඉලක්‌කයට යා යුතුය. කැමැති වුණත් නැතත් අප සියලු දෙනාම මේ නොවැළැක්‌විය හැකි ඉරණමට මුහුණ පෑ යුතුමය. හැකිතාක්‌ ඉක්‌මනින් මේ සත්‍යය අවබෝධ කොට ගතහොත් අපේ ජීවිත යහපත්, හිතකර අරමුණු කරා මෙහෙයවීමට අපට පුළුවන. ඇත්ත වශයෙන්ම අපේ මේ බියට හේතුව මරණය නොව, මරණය පිළිබඳ අප තුළ ඇති වැරැදි හැඟීමය. මරණය ඒ සැටියෙන්ම ගත් විට එතරම් භයානක සිදුවීමක්‌ නොවේ. වඩා භයානක වන්නේ මරණය ගැන අප සිත් තුළ පවතින බයය.

කාලයත් සමඟ ක්‌ෂයවන පරිදි අපේ ආයුෂ පාලනය වන්නේ ජීව විද්‍යාත්මක සිද්ධාන්ත මගිනි. ආයුෂ ගෙවී යන විට එය නැවත ලබා ගැනීම පිණිස කළ හැකි කිසිවක්‌ නැත. එනිසා නියම කාලය පැමිණි විට අප මරණය වෙත යැමට සූදානමින් සිටිය යුතුමය. මෙය අප කාටත් පොදු ධර්මතාවකි. ඉතා පළපුරුදු උපස්‌ථායකයන් මෙසේ කියා ඇත. මිනිසුන් ජීවත් වෙන්නෙ මරණය පිළිබඳ විශාල භයක්‌ සමගය. මෙය මහා අවාසනාවන්ත තත්ත්වයක්‌. අවසානයේ මරණය පැමිණි විට පැහැදිලි වෙනවා මරණයත් ජීවිතයක්‌ වගේ ස්‌වභාවික සිදුවීමක්‌ කියල. ජීවිතයේ අගිස්‌සට පැමිණි බොහෝ දෙනෙක්‌ තුළ මරණයට ඇති බය නැතිවී යනවා. මේ මුළු කාලය තුළම මහළු වී මැරෙන්නට බය වුණු එක්‌ අයකු ගැන පමණයි මා දන්නේ. ඒ ගැහැණියක්‌. ඇය ඇගේ සොහොයුරියට කිසියම් වරදක්‌ කර තිබුණා. එය නිවැරැදි කරන්න කල් පසු වුණා වැඩියි. ඒ නිසා ඈ ඒ ගැන තැවෙමින් සිටියා. ඇගේ භයට හේතු වන්නෙ ඇත්තේ මේ තැවිල්ලයි. ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ජීවන ගමන් මඟේ අවසානයට පැමිණ විට අපූරු සුන්දර දේ සිදු වෙනවා. බය සන්ත්‍රාසය පහ වී යනවා. මරණය ස්‌වභාවික සිදුවීමක්‌ බව අවබෝධ කොට ගත් විට මරණාසන්න අයගේ දෑසෙයි ආශ්චර්ය හා මුසු වුණු කිසියම් සතුටක්‌ මා දැක තිබෙනවා. මේ සියල්ල ස්‌වභාවය ධර්මයාගේ ගුණවත් භාවයේ ලක්‌ෂණයන්ය.

ශ්‍රීමත් විලියම් ඔස්‌ලට්‌ නම් සුප්‍රකට වෛද්‍යවරයා මෙසේ පවසා ඇත. "මා වෛද්‍ය සායනයන්හි ලබා ඇති දීර්ඝ අත්දැකීම්වලින් මට හැඟෙන්නේ බොහෝ දෙනෙකු මිය යන්නේ වේදනාවක්‌ බයක්‌ නැතුවය.

මරණය සමඟ පෑහීම

ලිංග, ජාති, ආගම් ආදී හේතු කිසිවක්‌ නොතකා සියලු දෙනාටම මරණය සමඟ පෑහීමට සිදුවේ. මේ හැර එයින් බේරීමට මඟක්‌ නැත. මේ වැළැක්‌විය නොහැකි අවසානය සමඟ මුහුණට මුහුණලා සිටීමට අපට ශක්‌තියක්‌ නැත. එය අප ලබා ගත යුතුය. මරණයට ඇති බයෙන් නිදහස්‌ නොවුණත් මිනිසා ජීවිතයේදී ද නිදහස භුක්‌ති විඳීමට සමත් නොවෙයි. "මරණයට බය වීම හරියට පැරැණි දිරාපත් වුණු වස්‌ත්‍රයක්‌ විසිකර දැමීමට බය වෙනවා වාගේය" යෑයි මහත්මා ගාන්ධිතුමා පවසා ඇත. අප ප්‍රියකරන අයගේ වියෝව දරා ගැනීම ඉතා අපහසුය. ඇගේ මිණිබිරිය මිය ගිය විට අතිශය ශෝකයට පත් විශාඛා මහා උපාසිකාව ද බුදුන් වහන්සේ හමුවට පැමිණ අවවාද ලබා ගත්තාය.


"විශාඛාවෙනි, මේ නගරයේ වෙසෙන දරුවන් පමණටම, දූදරු මිණිබිරියන් ලැබීමට ඔබ කැමැතිද? "එසේය ස්‌වාමීනි" මම කැමැත්තෙමි. " එහෙත් දිනකට කොපමණ නම් දරුවන් මේ නගරයේ මිය යනවාද? "බොහෝ දෙනෙක්‌ මිය යනවා ස්‌වාමීනි, මරණවලින් නම් අඩුවක්‌ නෑ ස්‌වාමීනි. එසේ නම් එසේ මිය යන සෑම දරුවා වෙනුවෙන්ම ඔබ හඬනවාද? තමන් ප්‍රිය දේ සියයක්‌ ඇති තැනැත්තාට ශෝකය හේතු සියයක්‌ ද තිබෙනවා. තමන් ඇලුම් කරන දේ නැති තැනැත්තාට ශෝකයකුත් නැත. ඒ අය දුකින් මිදුනු අයය."

බැඳීමක්‌ ඇති කර ගත් විට බැඳුණු ඒ දෙයින් වියෝ සිදුවූ කල දුකට පත්වීමට අප සූදානමින් සිටිය යුතුය. ජීවිත ආශාව හේතු කොට ගෙන සමහර විටක සිතෙහි මරණය පිළිබඳ අප්‍රසන්න බියක්‌ ඇතිවීමට ඉඩ තිබේ. හේතු සහගත අවස්‌ථාවකදී වුවත් අප අවදානමකට මුහුණ දෙන්නට සූදානම් නොවන්නේ මේ බය නිසාය. අපේ මේ වටිනා ජීවිතය අසනීපයකින් හෝ හදිසි අනතුරකින් කෙළවර වේය කියා අප නිතරම චකිතයකින් බයකින් පෙළෙනවා. මරණය නියමිත බව දැන ගත් විට අපේ මතු පැවැත්ම හා ආරක්‌ෂාව උදෙසා අපේ ආත්මය දෙව්ලොව පවතීවා යෑයි අප ප්‍රාර්ථනා කරනවා. මෙවන් විශ්වාස හට ගන්නේ භව තන්හාව නිසාය.

මෙවන් මානසික පීඩා ඇති වන්නේ ජීවිතයේ ඇති තතු පිළිගැනීමට, ඒවාට මුහුණදීමට අප මැළි වන හේතුවෙන් බව මනෝවිද්‍යාත්මක පර්යේෂණ මගින් ඔප්පු වී තිබේ. මේ මානසික පීඩනය වළක්‌වා නොගතහොත් අවසානයේ එය දරුණු ශාරීරික රෝගයන්ට පවා හේතු විය හැකියි. රෝගයන් ගැන තැවෙමින්, කලකිරී සිටීමෙන් රෝගී තත්ත්වය වඩාත් උත්සන්න විය හැකියි. අපට වැළඳිය යුතු ලෙඩ රෝග තෝරා ගැනීමට හෝ අප මරණයට පත්විය යුතු අවස්‌ථාව තීරණය කිරීමට හෝ අපට නොහැකිය. එහෙත් ලෙඩ රෝගවලට හා මරණයට නොබියව මුහුණ දීමට තීන්දු කිරීමට අපට පුළුවන. මිනිසුන් බොහෝ විට මළ මිනීවලට බයක්‌ දක්‌වතත් ඇත්ත වශයෙන්ම වඩා භයානක ජීවත්වන මිනිසුන්ය. මළමිනීවලට ශක්‌තිය නැති වුවත් ජීවත් වන මිනිසුන්ගෙන් මරණය පවා අපට අත්විය හැකිය. එනිසා මළමිනීවලට ඇති බය අප මවාගත් බොරු බයක්‌ පමණි.

උපත හා මරණය

උපත හා මරණය එකම ලණුවක දෙකෙළවර බඳුය. එක කොණක තබා ගෙන අනිත් කොණ ඉවත් කළ හැකි නොවේ. උපත හා මරණය පිළිබඳ අභිරහස්‌ ඉතා සරලයි. අප උපත කියා හඳුන්වන්නේ නාම රූපයන්ගේ එක්‌වීමයි. මේ නාම රූප පඤ්චස්‌කන්ධය කියාත් අප හඳුන්වනවා. එසේ එක්‌වුණු නාම රූපයන්ගේ පැවැත්ම ජීවිතයයි. මරණය නම් අන් කිසිවක්‌ නොව මේ පඤ්චස්‌කන්ධයන්ගේ වෙන් වීමයි. වෙන් වූ පඤ්චස්‌කන්ධ නැවත එක්‌වීම පුනර්භවයයි. පුද්ගලයකු නිර්වාණය සාක්‌ෂාත් කරන තුරු ඔහුගේ එනම්, නාම රූපයන්ගේ එක්‌වීම හා වෙන්වීම මෙසේ දිගින් දිගට පවතිනවා.

මරණය විවිධ ආකාරයෙන් විස්‌තර කර ඇත. සමහර අය මරණයෙන් සියලු දේ අවසන් වේය. ඉන් අනතුරුව පැවැත්මක්‌ නැති කියාය. පත පොතෙහි මේ විශ්වාසය හඳුන්වන්නේ උච්ඡේදවාදය යන නමින්ය. තවත් අයගේ විශ්වාසය භවයෙන් භවයට ආත්මය සංසරණය වන බවය. මේ සනාතය, අවිනාශි ආත්මයක සංසරණය විශ්වාසය කරන ඉගෙන්වීම හැඳින්වෙන්නේ ශාස්‌වත වාදය යන නමිනුයි. මේ විශ්වාසයන්ට වෙනස්‌ වූ තවත් විශ්වාස පවතිනවා. සමහරු සිතන අන්දමට මරණයේදී අවසාන දේව තීන්දුව ලැබෙන දිනය තෙක්‌ ආත්මය එක්‌තරා අන්දමක "අත්හිටුවූ" තත්ත්වයක පවතින බවය. තීන්දුව ලැබූ පසු එය සදාකාලික නිරයට හෝ සදාකාලික ස්‌වර්ගයට පත්වන බව මේ අය අදහනවා. බෞද්ධයන්ට නම් මරණය මේ අනිත්‍ය සංසාරික පැවැත්මේ එක්‌ තාවකාලික කැඩීමක්‌, බිඳීමක්‌ පමණයි. එය සංසාරික සත්ත්වයාගේ හෝ පුද්ගලයාගේ අවසානය නම් නොවේ.

මරණය තමන්ගේ ඉරණමට කෙසේ බලපාන්නේ දැයි සැවොම දැන සිටිය යුතුය. රාජකීයයෙක්‌ වුවත් සාමාන්‍ය පුරවැසියෙක්‌ වුවත්, දුප්පත් වුවත්, පොහොසත් දුබල වුවත් ශක්‌තිමත් වුවත්, පුද්ගලයාගේ අවසාන නිවහන පොළොවේ අඩි හයක්‌ පමණ යට වැළලූ මිනී පෙට්‌ටියක්‌ විය හැකිය. එසේ නැත්නම් ආදාහනය කරන ලද මළ මිනියේ අළු තැන්පත් කෙරෙන කුඩා බඳුනකය. එසේත් නැත්නම් ඒ අළු ගංගාවන් හා මුහුදෙහි පාකොට හරිනු ලැබෙන හෙයින් ඒ ඒ තැන්වල විය හැකිය.

මේ අවසන් ඉරණම එනම් මරණය හැම කෙනෙකුටම පොදුය. ජීවිතයේ නියම ස්‌වභාවය අවබෝධකොට ගැනීමට අපොහොසත් වී වරෙක අපි අඬවන්නෙමු. තව වරෙක සිනාසෙන්නෙමු. සිනාසී නැවත හඬන්නෙමු. ජීවිතයේ ඇති තතු තේරුම් ගත්විට සංස්‌කාර ධර්මයන්ගේ අනිත්‍යයට සෘජුව මුහුණ දී විමුක්‌තිය ලබා ගත හැකිවේ. විමුක්‌තිය ලබන තාක්‌ කල් අපට මැරි මැරී උපදින්නට සිදුවේ. මෙයින්ද මරණයේ ස්‌වභාවය තවත් පැහැදිලි වේ. මරණය දැරිය නොහැකි සිදුවීමක්‌ ලෙස සිතන්නේ නම් උපත හා මරණය යන දෙකොණින් යුතු සංසාරික පැවැත්ම කෙළවර කිරීමට උත්සාහ ගත යුතුමය.

ශාන්ත මරණය

ජීවිතයේ යුතුකම්, වගකීම් සියල්ල ඉටුකොට අවසන් වූ පසු ශාන්තව මිය යැමට ලැබීම කාගේත් ප්‍රාර්ථනාවය. එහෙත් මෙවන් අවසානයකට පත්වීමට අප අතුරෙන් කීප දෙනෙක්‌ නම්.... සූදානම් වන්නේද? පවුල් වෙනුවෙන් යාළු මිත්‍රාදීන් වෙනුවෙන් රට, ජාතිය, ආගම, වෙනුවෙන් ඒ තබා තමන් වෙනුවෙන්වෙන්වත් කළ යුතු යුතුකම් ඉටුවිය යුතු වගකීම කී දෙනෙකුට නිසියාකාරව ඉටු කළ හැකිද? මෙලෙස යුතුකම් වගකීම් නොපිරිහෙළා ඉටුනොකොට සන්සුන් සිතින් නිවී සැනසිල්ලේ මිය යැමට ලැබේද?

අප මුලින්ම කළ යුත්තේ මිනිසුන්ට පමණක්‌ නොව දෙවියන්ට පවා බිය ගෙන දෙන මරණයට අප තුළ ඇති බිය පහකොට ගැනීමය. වර්තමානය අපතේ යැමට ඉඩ හැරිය යුතු නැත. එසේ ඉඩ හැරියොත් මරණය පැමිණ විට දුක්‌වන්නට පසුතැවිලි වන්නට සිදුවනු නොඅනුමානය. තම යුතුකම් වගකීම් නිසියාකාරව, නොපිරිහෙළා ඉටුනොකොට මිය යන අයගේ ජීවිත තමන්ට මෙන්ම අන් අයටද එලොවට, මෙලොවටම ද ඵල ප්‍රයෝජනයක්‌ නැති නිසරු බොල් ජීවිතය. එනිසා අපේ යුතුකම් වගකීම් අතපසු නොකොට නිර්භයව සැනසීමෙන් යුතුව මරණයට මුහුණදීමට අප සූදානම් විය යුතුය.

අප මෙලොව මිනිසත් බව ලබා ඉපදී ඇත්තේ මිනිස්‌ වර්ගයාගේ සුබසෙත සඳහා කිසියම් කාර්යභාරයක්‌ ඉටුකිරීමට බව අමතක කර යුතු නැත. මිනිස්‌ වර්ගයා අපට මතකයෙහි රඳවා ගනු ඇත්තේ අප, අප උදෙසාම කරන ලද සේවය සම්බන්ධයෙන් නොව, අප සකල මිනිස්‌ වර්ගයාගේ ම යහපත උදෙසා කරන ලද මාහැඟි සේවාව සම්බන්ධයෙනි. මිනිසාගේ ශරීරය පස්‌ බවට පෙරළුණත් ඔහුගෙන් වූ බලපෑම හා සේවය සදානුස්‌මරණීයව පවතිනු ඇත යෑයි බුදුන් වහන්සේ වදාර ඇත. අපේ ජීවිත සකස්‌ කිරීමට නොයෙකුත් ආදර්ශවත් කාර්යභාරයක්‌ ඉටු කළ උදාර පුරුෂයන් අද අප අතර නැතත් ඒ උතුමන්ගේ ශ්‍රී නාමයන් අදත් අප ආදරයෙන් සැමරීමෙන්ම මිනිස්‌ වර්ගයා එවන් උදාර සේවාවක්‌ කෙතරම් අගේකොට සලකන්නේ ද යන්න පැහැදිලි වේ.
— with Hasara Madhushani.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home