Thursday, November 24, 2011

ප්‍රඥා පාරමිතාව


බුදුබව සඳහා අවශ්‍ය වන හතරවෙනි සුදුසුකම ප්‍රඥාවයි. එය පාරමිතාවක් වශයෙන් මහ බෝසත්වරු සම්පූර්ණ කර ගනිති. ප්‍රඥාව යනු බුද්ධියයි දැනුමයි. නැණ නුවණයි මේ ප්‍රඥාව සියලුම පාරමී ධර්මයන් පුරා ගැනීමට නැතිවම බැරි ගුණයකි. කවර කෙනෙකුගේ වුව ද ජීවිතයක් සාර්ථක කර ගැනීමට උපකාර වන්නේ උගත්කම සහ බුද්ධිමත් බවයි. පොත පත, භාෂා ශාස්ත්‍ර ඉගෙන ගැනීමෙන් ප්‍රධාන වශයෙන්ම උගත්කම දියුණු කරගත හැකිය. එසේම විවිධ කලා ශිල්ප වෛද්‍ය ශාස්ත්‍රය, ගෘහ කර්මාන්ත, ගොවි කර්මාන්ත, සත්ත්ව පාලන, තාරකා විද්‍යා ආදී විවිධ අංශ පිළිබඳව ඉගෙන ගැනීමෙන් ඒ ඒ විෂය ධාරාවන් පිළිබඳව පුළුල් දැනීමක් ඇතිකර ගත හැකි ය.

බුද්ධිමත්කම යනු තැනට ඔබින පරිදි පහළ වන ක්ෂණික දැනුමයි. එය උපතින්ම ලබා එන සහජ කුසලතාවයකි. පෙර ආත්මවල එන පළපුරුදුකම් අනුව බොහෝ දෙනාට මේ ස්ථානෝචිත ප්‍රඥාව නම් වූ තැනට ඔබින නුවණ පහළ වේ. ඇත්ත වශයෙන්ම කියතොත් පෙර පිනක් නිසාම මේ තැනට ඔබින නුවණ පහළ වන බව කිව යුතු ය. බොහෝ උගත් අය ලෝකයේ සිටිති. එහෙත් ඒ උගත් අය අතුරෙන් ඇතැම් අය මේ කියන තැනට ඔබින පරිදි පිළිපැදීමේ කතා කිරීමේ හැසිරීමේ පිළිවෙළ නිසි පරිදි පැවැත්වීමට අසමත් ය.

එබදු අය පිරිසෙන් සමාජයෙන් කොන්වෙන අවස්ථා දක්නට ඇත. පෙර කී පරිදි උගත්කම ඇති කර ගත් පුද්ගලයාට මේ කියන බුද්ධිමත් බව ඇතිකර ගැනීමට පහසු ය. එසේ වුවද උගත් බොහෝ දෙනෙකුට එය හුරු කර ගැනීමට නොහැකි වී තිබේ. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි කියවෙන පරිදි නිරන්තරයෙන්ම තමා කරන කියන කටයුතු පිළිබඳව සිහියෙන් යුතුවම ක්‍රියා කරන්නේ නම් මේ බරපතළ අඩුපාඩුව සකස්කර ගත හැකි ය.



ප්‍රඥාව දියුණු කර ගැනීමට බාල වයසේ පටන්ම අපේ දරුවන් පුහුණු විය යුතුය. ඒ සඳහා බොහෝ දේ දැන ගත යුතු ය. පොත පත කියවීම දැන උගත් අය ඇසුරු කිරීම, කථාවක් හෝ දේශනාවක් අසන කාරණාතුළින් කියවෙන චරිතයන්හි වැදගත් අවස්ථා තෝරා බේරා ගෙන තම චරිතයට සම්බන්ධ කර ගත යුතු දෑ ගැනීමට විචක්ෂණ විය යුතුය. එය ශෘතමය ඥාණ වශයෙන් දක්වා ඇත. බහුශ්‍රැත යන වචනයේ තේරුම ද පඬිවරයා යන්නයි අද මෙන් එදා පොතපත නොතිබුණි. එබැවින් සියල්ලෝම වැඩිහිටියන්ගෙන්, දැන උගත් අයගෙන් බණ දහම් ඇසීමෙන් ඒවා මතකයට ගෙන බොහෝ ඇසූ පිරූ අය බවට පත් වුහ. එබඳු දැන උගත් පැතිරුණු දැනුමක් ඇති භවතුන්ට චිරරාත්‍රඥ යන නාමයක් ද භාවිතා කළහ. එබදු අය ප්‍රතිපත්තිගරුකව භාවනාව වැඩීමෙන් වඩාත්ම තීක්ෂණ බුද්ධිය වැඩිදියුණු කරගෙන ඇත.

ලෞකික, ලෝකෝත්තර වශයෙන් ද ප්‍රඥාව දෙයාකාරය සතර, අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය ආදී තන්හි උපත ලද කාමාවචර සත්ත්වයන්ට ඇති වන්නේ ලෞකික ප්‍රඥාවයි. මනස නිතරම ක්‍රියාත්මක වන්නේ පංචකාම සම්පත් පිළිබඳවම ය. රූපාවචර නමින් දැක්වෙන බ්‍රහ්ම ලෝක 16 ද, අරූපාවචර නමින් දැක්වෙන අරූපීය බ්‍රහ්ම තලවලද උපත ලද අයට පහළ වන සිතිවිලි ද භව ආසාව ඇති අය බැවින් ලෞකික ය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මාර්ග ඵලවලට පත් උතුමන්ගේ ප්‍රඥාව ලෝකෝත්තරය, මේ සඳහන් කරන ලද ප්‍රඥාවේ ඉහළම මට්ටමයි.

බුදු බව පතන භවතුන් සුවිශේෂ මට්ටමකින් මේ ප්‍රඥාව දියුණු කරගත යුතුය. තවත් අදහසක් වශයෙන් කියතොත් බුදු බවට පමණක් නොව පසේ බුදු බව රහත් බවට ද මේ ලෝකයෙහි සකල විධ යහපත් තත්ත්වයන්ට පත්වීම පිණිස ද බුද්ධිය නැතිවම බැරි බව ඉහත සඳහන් කරන ලදී. එබැවින් බාල, තරුණ මහළු ගිහි පැවිදි සියල්ලෝම මේ ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් දියුණුකරගත යුතුය. මෙහි ප්‍රබේද තුනකි. පාරමිතා, උප පාරමිතා පරමත්ථ පාරමිතා යනු ඒ තුනයි. මේ ප්‍රභේද තුන සෑම පාරමිතාවකටම අයත්වන්නේ ය.

සමතිංසත් පාරමිතා වශයෙන් එනම්, තිස් ආකාරයකින් පාරමිතා දහය වැඩි කොට ඇත්තේ මේ ආකාරයෙනි, තම බුද්ධිය, ප්‍රඥාව යොදවා ලෝකයට සේවය කිරීමේ දී තම ධනය ගැන දූ දරුවන් ගැන හිත අහිත කා ගැන වුව ද වෙනසක් නොදක්වා බුද්ධියෙන් කළ යුතු දේ නිසි පරිදි අවංකව, අපක්ෂපාතිව ඉටු කිරීම ප්‍රඥා පාරමිතාවය. තම අත්පා ආදී ශරීර අවයවයන් ගැන ද ඇති බැඳීම අතහැර ලෝකයා වෙනුවෙන් ඇප කැප වීම ප්‍රඥා උප පාරමිතාවයි.

තම ජීවිතය ගැන ද නොතකා නැණනුවණ යොදවා ලෝකයාට කළ හැකි සේවාව ඉටුකිරීම ප්‍රඥා පරමත්ථ පාරමිතාවේ ලක්ෂණයයි. ඇසට පෙනෙන දුරට වඩා කිය නොහැකි තරම් ඈත දුරක් මනසට ප්‍රඥාවට පෙනෙන්නේ ය. එසේම ඕනෑම දුරක් මතක ඇති දෙයක් සැඟවුණු තැනක ඇති දෙයක් සැඟවුණු කරුණක් මතුපිටින් දක්නට ලැබෙන කරුණු අනුව සිතා ගැනීමේ දක්ෂතාවයක් මනසට ඇත්තේ ය.

සේනක පඬිතුමා මුළු දඹදිව පුරා දැන උගත්කමින් සහ බුද්ධිමත් බවෙන් එදා නම් දරාගෙන සිටිය පුද්ගලයෙකි. ඒ අප මහා බෝසතාණෝ ය. එතුමා වෙතට බර පසුම්බියක් කරේ එල්ලාගත් දුගී දුප්පත් වයසක බමුණු කෙනෙක් පැමිණියේ ය. ඒ සේනක පඬිතුමා ශිෂ්‍ය පිරිසකට තම ශාස්ත්‍රශාලාවෙහි උගන්වන වේලාවයි. වයසක බමුණා මිදුල මැද හිටගෙන පසුම්බිය බිම තබා මහත් වූ බියකින් යුතුව හඬන්නට පටන් ගති. උගන්වන වේලාවක පැමිණිය ද සේනක පඬිතුමා මොහොතකට පාඩම් නවත්වා “ඔබ කොහි සිට පැමිණෙන්නේ දැයි” බමුණාගෙන් ඇසීය. පන්තියේ සිසු පිරිස ද විමතියෙන් බලා සිටිති. “අනේ පඬිතුමනි, මම දුර බැහැර පළාතක සිට එන කෙනෙක්මි. ගෙදරින් පිට වී දැන් අඩමසක් ගත වුණා ! මඟදී කැලේ එද්දී දේව කට හඬකින් වගේ කවුදෝ කෙනෙක් මට මෙහෙම දෙයක් කීවා.”

අස බමුණ ගම්වැසි
මඟ රැදුණ අදතෝ නසි
ගෙට ගිය අඹුවනසි
අතුරු දන් විනි, කියා මේලෙසි

බමුණ මඟ සිටියොත් අද තෝ මැරෙනවා. ගෙදර ගියහොත් තගේ අඹුව නැසෙනවා” මෙසේ කියා දේව හඬ නැති වුණා. දැන් මට ගෙදර යන්නත් බැහැ මඟ ඉන්නත් බැහැ. මම මේ නිසා භයට පත්ව අඬ අඬා එන විට කවුරු කවුරුත් මට කිව්වේ බමුණ ඔබ වහා සේනක පඩිතුමා වෙත යන්න. මේ ප්‍රශ්නය නිරාකරණය කර දෙන්නට නම් අද දඹදිව සිටින එකම ආචාර්යවරයා සේනක පඬිතුමා පමණයි. මෙසේ කියා ඔබතුමන් වෙත පැමිණෙන්නට මඟ පෙන්නුවා.

සේනක පඬිතුමා බුද්ධිය යොමු කෙළේ ය. මේ කාරණාව ගැන කල්පනා කරන විට සැනෙකින්ම එතුමාට හැගුනේ මේ පසුම්බිය තුළ මඟදී කෑමට ගන්නා අග්ගලා බඳු කැවිලි වර්ග ඇති ! මේ තුළ ඇතැම්විට කැවිලි සුවඳට රිංගාගත් විසඝෝර සර්පයෙක් ඉන්නට පිළිවනි. මොහු නැවත කැවිලි කෑමට පසුම්බිය ලිහා අත දාන විට සර්පයා දෂ්ඨ කොට මොහු මැරෙන්නේ ය. නැත්නම් මොහු ගෙදර ගිය විගස ගෙනාවේ මොනවා දැයි බැලීමට බැමිණිය පසුම්බිය ලිහා අත දමනු ඇත. එකෙනෙහි සර්පයා දෂ්ඨ කොට බිරිඳ මරණයට පත් වන්නීය. එසේ සිතා මේ ප්‍රශ්න කීපය තම ශිෂ්‍ය දරුවන් බලා ඉදිද්දීම සේනක පඬිතුමා බමුණාගෙන් අසන ලදී.

“බ්‍රාහ්මණය, ඔබ දවල් ආහාර ගත්තේ කොහි දී ද ?” පඬිතුමනි මම කැලෑ මාර්ගයක එන ගමන් පිරිසුදු දියපාරක් ගලා බසින තැනක නැවතී පසුම්බිය ලිහා අග්ගලා ගෙඩි දෙක්ක සහ විලඳ ගුලි තුනක් අනුභව කොට දිය පාරට බැස වතුර බී ගොඩ විත් පසුම්බිය රැගෙන පැමිණියෙමි. “බමුණ ඔබ වතුර බීමට දියපාරට බැස්සේ, පසුම්බියේ කට ලිහා තිබියදී ද , නැතිනම් ගැට ගසා තැබීමෙන් ද ? පඬිතුමනි, මම අග්ගලා රැගෙන අනුභව කොට දිය පාරට බැස්සේ පසුම්බියේ කට ඇර තිබියදීම ය. ඊට පසු ඇළෙන් ගොඩට විත් පසුම්බියේ කට ගැටගසා උරෙහි එල්ලාගෙන ගමන පිටත් වුණෙමි.

සේනක පඬිතුමා කාරණය තේරුම් ගත්තේ ය. එකත් එකටම මේ මෝඩ බමුණා කැලේ ගහක් යට පසුම්බිය ලිහා දියට බැස වතුර බී එන අතරතුර කැවිලි සුවඳට නයෙක් හෝ පොළගෙක් මේ පසුම්බිය තුළට රිංගාගෙන ඇත. මේ බමුණා නැවත තව තැනෙක නැවතී පසුම්බිය ලිහා අග්ගලා ගැනීමට අත දමත්ම සර්පයා දෂ්ඨ කරනු නියත ය. එය ඔහුගේ මරණයයි. නැත්නම් මොහු අද ගෙදර ගියහොත් ගෙනාවේ මොනවාදැයි බැලීමට බිරිඳ පසුම්බියට අත දමනු නියතය. සර්පයාගේ දෂ්ඨ කිරීමෙන් සැනෙකින් ඇයගේ මරණය ද නියත ය. මේ කරුණු දැක ගුණ යහපත් භූමාටු දෙවියෙක් මේ දෙදෙනාගේ මරණය වළක්වනු පිණිස මෙබදු ප්‍රකාශයක් කොට අතුරුදහන් වන්නට ඇත. “

සේනක පඬිවරයා මෙසේ සිතා බමුණාට කියන්නේ “බමුණ මේ මිදුල මැද දැන් ඔබ තැබූ පසුම්බිය ළඟට ගොස් ඒ ගැට ගැසූ ලණුව ගැටයෙන් බුරුල් කොට වහා ඈතට ගොස් අර උණලීය අරගෙන ඒ පසුම්බියෙහි කට පාදන්න” එසේ කරත්ම සියල්ලෝම බලා සිටියදී පසුම්බිය තුළ සිටි පොළගෙක් නොව නයෙක් කෝපයෙන් පෙන ගොබය ඔසවාගෙන එළියට පැන්නේ ය. සිසු දරුවෝත් එක්ව තවත් උණ දණ්ඩක් දෙකක් ගෙන නයා පළවා හැරියහ. සේනක පඩිතුමාගේ බුද්ධිය කාටත් වැටහුණේ එවිට ය. ප්‍රඥාවෙන් ඒකාන්තයෙන්ම පසුම්බිය තුළ විෂඝෝර සර්පයෙක් ඇත. යනුවෙන් දැන ගත්තේ ප්‍රකෘති ඇසින් නොව ප්‍රඥාවෙනි. මෙවන් අයුරින් අද සමාජය තුළ පවතින යම් යම් කරුණු අනුව නුවණින් බලා අනාගතයේ දී සිදුවන දෑ නිවැරැදිව පැහැදිලි කිරීමට සමත් බුද්ධිමත්හු සිටිති. ප්‍රඥාවේ බල මහිමය එයයි.

මෙකී ප්‍රඥාවම ගුණ ධර්ම අනුව දියුණු කොට නිවන් මඟ පාදාගත හැකිය. ඒ සඳහා නුවණින් යුතුව ක්‍රියා කිරීම ප්‍රඥා පාරමිතාව වැඩීමක් ම වන්නේ ය. මේ ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා පාපකාරී අවැඩදායී ක්‍රියාවන්ට තම බුද්ධිය හා කාලය යොදවන්නේ නැත. මහබෝසත්වරුන්ගේ ප්‍රඥා බල මහිමයේ වටිනාකම එයයි.

මෙකී ප්‍රඥාවම ගුණ ධර්ම අනුව දියුණු කොට නිවන් මඟ පාදාගත හැකි ය. ඒ සඳහා නුවණින් යුතුව ක්‍රියා කිරීම ප්‍රඥා පාරමිතාව වැඩීමක් ම වන්නේ ය. මේ ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයා පාපකාරී අවැඩදායී ක්‍රියාවන්ට තම බුද්ධිය හා කාලය යොදවන්නේ නැත. මහ බෝසත්වරුන්ගේ ප්‍රඥා බල මහිමයේ වටිනාකම එයයි.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home