Thursday, November 24, 2011

දාන පාරමිතාව


නමෝ තිලෝක තිලකස්ස

ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්ති සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රි, උපේක්‍ෂා යන දස පාරමි ධර්මයන් සම්පූර්ණ කරන ලද්දේ බුදු බවට අවශ්‍ය සුදුසුකම් වලින් පිරිපුන් බවට පත්වීම පිණිසය. ලොවැ කවර තරාතිරමක කෙනෙකුන් වුවද යම්කිසි තත්ත්වයක් -තනතුරක් උසස් බවක් ලබා ගනු කැමති නම් ඒ පුද්ගලයා පළමුවෙන්ම ඊට අදාළ සුදුසුකම් මොනවාදැ යි දැනගත යුතුය. දැනගැනීමට තරම් තමාට අවබෝධයක් දැනුමක් නැත්නම් උගත් බුද්ධිමත් නැණවතුන් සොයා ගොස් ඔවුන්ගේ අවශ්‍ය කරුණු උගත යුතුය.

ඉන් අනතුරුව එකී ගුණදම් වඩා වර්ධනය කරගැනීමට පුරුදු පුහුණු විය යුතුය. සිද්ධාර්ථ ගෞතම මහ බෝසතාණන් වහන්සේත් එදා දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණය ලැබ එනම්, “ මේ උග්‍ර තවුසා අදින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්මගිය තැන ඒකාන්තයන්ම සිද්ධාර්ථ ගෞතම නාමයෙන් බුදු බවට පත්වන්නේය.” යන බුද්ධ වචනයෙන් ප්‍රමුදිත බවට පත්ව මෙසේ කල්පනා කළේ ය.

මේ දීපංකර බුදුපියාණන් වහන්සේ අනාගතයේදී “ මම බුදු බවට පත්වන බව ප්‍රකාශ කළ සේක.” ඒ ශ්‍රේෂ්ඨතම තත්ත්වය ලබා ගනු සඳහා සම්පූර්ණ කර ගත යුතු කරුණු කවරහුදැයි මෙනෙහි කළේ ය. එවිට උන්වහන්සේට සිහියට ආවේ බුදු බව සඳහා අවශ්‍ය සුදුසුකම් වශයෙන් දස පාරමිතා ධර්මයෝ ය. මෙකී සුදුසුකම් සම්පූර්ණ කර නොගෙන කිසිදාක බුදුවිය නොහැකි බව දැනගත් පංච අභිඤා සහිත අෂ්ඨ සමාපත්ති උපදවාගෙන සිටි සුමේධ තවුසාණෝ පළමුවෙන්ම නුවණින් දුටුවේ:

දානං සීලංච නෙක්ඛම්මං - පඤ්ඤා විරියේන පංචමං
ඛන්ති සච්චමදිට්ඨානං මෙත්තුපෙක්ඛාති මේ දස

හත සඳහන් ගාථාවෙන් දැක්වෙන්නේ දස පාරමිතාවෝ ය. මෙම පාරමිතා දහය සම්පූර්ණ කර නොගෙන බුදු බවට පත් විය නොහැකි බව දුටු මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා එදා පටන්ම තමා කරන කියන සෑම ක්‍රියාවකටම මේ පාරමිතා දහය සම්බන්ධ කර ගැනීමට සමත් විය. එයින් පළමුවැන්න දානමය පුණ්‍ය ක්‍රියාවයි. දෙවැන්න සීලය වන අතර තුන්වැනි පාරමිතාව නෛෂ්ක්‍රමය නොහොත් අතහැරීමය. ප්‍රඥාව යනු සෑම දෙයක්ම බුද්ධිමත්ව සිදු කිරීම ය. වීර්යය පාරමිතාව නමින් දැක්වන්නේ නොපසු බස්නා ධාර්මික උත්සාහයයි. ඛන්තිය යනු ඉවසීමය. ක්ෂාන්ති පාරමිතාව වශයෙන් විස්තර කොට ඇත්තේ එයයි. සත්‍යවාදී බව සත්‍ය පාරමිතාව වශයෙන් දැක් වේ. තම අදහස් බලාපොරොත්තු මුදුන්පත් කරගැනීම සඳහා තම සිත් සතන් තුළ පවත්නා දැඩි ඕනෑකම අධිෂ්ඨාන පාරමිතා වශයෙන් දක්වා ඇත.



නවවෙනි පාරමිතාව මෛත්‍රියයි. හතුරු මිතුරු කවර කෙනෙකුන් ගැන උවද පවත්වාගත හැකි හිතවාදී බව මෛත්‍රී පාරමිතාවෙන් ඉගැන්වේ. උපේක්ෂා පාරමිතාව යන්නෙන් දක්වා ඇත්තේ කවර කෙනෙකුන් ගැන වුවද හිතවත්කම් සහ අහිතවත්කම් ඇති කර නොගෙන අන්තඞග්‍රාහී නොවී මැදහත්ව සිත පවත්වා ගැනීමට පුරුදුවීමය.

මේ උදාර ගුණ ධර්ම දහය උපරිම මට්ටමෙන් වඩන පුද්ගලයා හතර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ගුණධර්ම වඩා ප්‍රඥාධික බුදුවරයන් වහන්සේ නමක් වශයෙන් සම්මා සම්බුදු බවට පත්වන්නේ ය. මෙකී දස පාරමිතාවන් අසංඛ්‍ය කල්ප ලක්ෂ අටක් පුරාම සම්පූර්ණ කළ උත්තමයා ශ්‍රද්ධායික ලොව්තුරා බුදුවරයන් වහන්සේ නමක් වශයෙන් බුදු බවට පත්වන්නේ ය. එසේම මේ ගුණ ධර්ම දහය දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් වැඩූ උත්තමයා වීර්්‍යාධික සම්මා සම්බුදු වරයන් වහන්සේ නමක් වශයෙන් බුදු බවට පත් වන්නේ ය.

බුදු බවෙන් මෙහා පවත්නා පසේ බුදු බව සඳහා දෙආසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉහත කී පාරමිතා ධර්ම පිරිය යුතු අතර රහත් බෝධිය සඳහා කල්ප ලක්ෂයක් දස පෙරුම් දම් සපුරා ගත යුතුය. ඒ පාරමිතා ධර්මයෝද පාරමිතා -උප පාරමිතා - පරමත්ථ පාරමිතා වශයෙන් පිරිය යුතුව තිබේ. ඒ පිළිබඳව කරුණු ඉදිරියේදී දක්වනු ලැබේ.

මෙයින් පැහැදිලි වන්නේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නිවන ලබා ගැනීමට දැඩි උත්සාහයක් තිබිය යුතු බවය. ඊටත් වඩා අසීරු වන්නේ භවයෙන් භවයට මේ වඩන ලද ගුණ ධර්ම ඊළඟ උපතටද ගෙනයාමය. මෙම භවයේදී අප විසින් ඇතිකර ගන්නා ලද දැනුම - ගුණය - කුසලකාමී සිතිවිලි - යහපත් ගති පැවතුම් මීළඟ භවයටත් ගෙන යාමට සමත් විය යුතුය. ඒ සඳහා අපි අද දියුණු කරනු ලබන උදාර ගුණ මාලාවන් නොකඩවා පවත්වාගෙන යාම උත්සහවන්තයාගේ ස්වභාවයයි.

ලෝකය විවිධය. විෂම ගති පැවතුම් ඇති පුද්ගලයන්ගෙන් යුක්තය. ඒ නිසා හොඳ දේ වගේම නරක අප්‍රසන්න දේද ඇස, කණ , දිව, නාසය, ශරීරය යන ඉන්ද්‍රිය තුළින් අපේ චිත්ත සන්තානයට ඇතුල් වෙති. එබැවින් පුද්ගලයා හොඳ දේට වඩා බෙහෙවින්ම නැඹුරු වන්නේ නරක දේටය. තවද මනුෂ්‍යයන් විවිධාකාර පාප කර්ම කෙරෙති. ඒ අකුසළ කර්ම නිසාම තිරිසන් අපාය, ප්‍රේත ලෝකය, අසුර නිකාය, අවිචීමහ නරකය යන සතර අපායට වැටෙති. ඒ දුක්ඛිත තැන්වල උපත ලබා නරක සිතින් තව තවත් බොහෝ පාප කර්ම කෙරෙති.

මේ නිසා සුගති ලෝකවල උපදින අයට වඩා ඉහත සඳහන් කළ සතර අපායේම උපදින්නෝ බොහෝ ය. මනුෂ්‍ය ලෝකය ගැන බැලුවද යහපත් ගති පැවතුම් වලින් අඩු අය අධිකය. ඔවුන් දුර දිග නොබලා නරක ආශ්‍රය නිසා ඉක්මන් කෝපය මුල් කරගෙන සිදු කරනු ලබන පාප කර්මයන් කොතෙක්දැයි යන්න පැහැදිලි කළ යුතු නැත. මෙයට මූලික හේතුව අවිද්‍යාව නමින් දැක්වෙන නොදැනුවත්කමයි. සියලුම පාපකර්මයන්ට මූලික වන්නේ අවිද්‍යාව බව, නැත්නම් නොදැනුවත්කම ම යන්න දක්වා ඇත්තේ එහෙයිනි.

මේ සකළ විධ අකුසල කර්ම වලට වැටෙන්නේ බුද්ධිමත් කම නැති වීම බව ස්ථිරයය. එය එක දවසකින් දෙකකින් කළ හැක්කක් නොවේ. එක ජීවිතයකින් ජීවිත දෙක තුනකින් ඉටු කර ගත හැක්කක්ද නොවේ. ඒ සඳහා මුලදී මතක් කළ පරිදි කල්ප ලක්ෂයක්වත් අඩුම තරමින් මේ පාරමි ගුණ වැඩි දියු කර ගත යුතුය. රහත් බෝධියෙන් නිවන් ලැබූ ස්ත්‍රී පුරුෂ සියල්ලෝම ඉහත සඳහන් කළ පරිදි භවයක් භවයක් පාසා අඛණ්ඩව ගුණ ධර්ම පුරන ලද්දෝමය. ඒ ගුණ ධර්ම පිළිබඳව මෙතැන් සිට කරුණු පැහැදිලි කරනු ලැබේ. එයින් පළමු වැන්න ඉහත සඳහන් ගාථාවෙන් දක්වන ලද දාන පාරමිතාවය.

පැවිද්දට පූජා කිරීම

දාන පාරමිතාවේ අංග තුනකි. දාන පාරමිතාවය. දාන උප පාරමිතාවය. දාන පරමාර්ත පාරමිතාවය යනු ඒ තුනයි. පුත්ත දාර ධනාදී උපකරණ පරිච්චාගෝ දාන පාරමි; අත්තනො අංග පරිච්චාගෝ දාන උප පාරමි; ජීවිත පරිච්චාගෝ දාන පරමත්ථ පාරමි. මෙහි දාන පාරමිතාව නමින් දැක්වෙන්නේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන , ගෙවල් දොරවල්, වතුපිටි, කුඹුරු , රන් රිදී, මුතු මැණික්, ඖෂධීය බෙහෙත් වර්ග සහ තම දූ දරුවන් පරිත්‍යාග කිරීමට ඇති හැකියාව තෙක් දානය ඉහළම තැනකට පත්කර ගැනීම දාන පාරමිතාවය. දැනුදු ඉහත සඳහන් සියලු දෑ මහත් වූ ලැදි කමකින් යුතුව පරිත්‍යාග කරන අය සිටිති. තම දූ දරුවන් පවා ශාසනයට පූජා කිරීම මේ දාන පාරමිතාවේ ඉහළම මට්ටමකි.

“පුත්තා වත්ථු මනුස්සානං” යනුවෙන් දැක්වෙන පරිදි මනුෂ්‍යන් විසින් තම ඉහළ වස්තුව වශයෙන් සලකනු ලබන්නේ තම දරුවෝය. කවර දෙයක් පරිත්‍යාග කළද, තම දරුවෙක් බැහැරට දීම සුළු පටු පරිත්‍යාගයක් නොවේ. ඒ ශ්‍රේෂ්ඨතම පූජාව සැදැහැවත් මව්පියවරු තම දරුවන් ශාසනයට පිදීමෙන් සිදු කර ගනිති. ගෙදර තරම් සැප පහසුකම් සහ මව්පිය සෙනෙහස දරුවාට නිසි පරිදි නොලැබෙන බව දැන දැනත්, ඔවුහු තම දරුවන් අපරිමිත මහ කුසළයක් හිමි කරගනු පිණිස සසුන්ගත කෙරෙති. එයද දාන පාරමිතාවේ ඉහළම කඩ ඉමකින් පැන ගැනීමක් බව සැළකිය යුතුය. දාන පාරමිතාවේ උපරිම පරිත්‍යාගයක් වශයෙන් මේ පින්කමද සැලකිය යුතු වන්නේ.

දාන උප පාරමිතාව ඊටත් වඩා උතුම් කුසලයකි. තමන්ගේ අඟ පසඟ පරිත්‍යාග කිරීම එයට අයත්ය. ශරීරගත ලේ, මස් , ඇස්, අත් පා , ආදිය පමණක් නොව, වකුගඩු , සිවි පටක ආදියද දැනට වුවද බොහෝ දෙනා දන් දෙනු ලැබේ. අද අපේ රටේ වුවද ඇස් දන්දීම ප්‍රධාන පෙලේ පරිත්‍යාගයක් බවට පත්ව ඇත. මේ අතර ඉහත කී පරිදි වකුගඩු ආදියද දන් දෙන අය සිටිති. මෙය තවත් ආකාරයකින් ද අගය කළ යුතුව ඇත. යම්කිසි පරාර්ථකාරී කටයුත්තක් සඳහා තමන්ගේ අතක් පයක් අහිමි වුවද ඒ ගැන නොසිතා සේවය කිරීම දාන උප පාරමිතාව වශයෙන් සැලකිය යුතුය.

ගෙවල් ගිනි ගැනීම් , ගංවතුර ආදී විපත් වලදී අන් අය ගලවා ගැනීම පිණිස තමන්ගේ අතපය සිරුර පිළිස්සී ගියද, විනාශ වී ගියද ඒ ගැන නොතකා පරහිතකාමීව කටයුතු කිරීමත් දාන උප පාරමිතාවටම ගැනේ. ඒ අනුව බලන විට අන් අය වෙනුවෙන් උපකාරවත් වීමට ඉදිරිපත්ව තම අත් පා, ඇස් , කන්, නාසාදිය අහිමි කරගත් අංග විකල බවට පත් බොහෝ දෙනා අප අතර සිටිති. එකී පරිත්‍යාගයන් කළේ දාන උප පාරමිතාවක් වශයෙනැයි ඒ අය සිතිය යුතුය. අන්‍යලබ්ධික කෙනෙක් වුවද දාන පාරමිතා පිළිබඳව ඔවුන් නොදන්නා බැවින් “ ඔහු ගලවා ගැනීම හෝ ඔවුන් ගලවා ගැනීම පිණිස මම ඇප කැප වෙමියි” සිතා ඉදිරිපත්ව කරුණා සිතින් කටයුතු කරන විට ඒ අන්‍යලබ්ධිකයින්ට වුවද එය උදාර පාරමිතාවක් බවට පත් වන්නේ ය.

තමාගේ ජීවිතය ගැන තැකීමකින් තොරව අන් අය වෙනුවෙන් සේවය කරන්නෝ දාන පරමාර්ථ පාරමිතාව පුරන්නේ ය. අවංක පාලකයෝද ජනනායකයෝද මේ ගණයට වැටෙති. බොහෝ වසංගත රෝගීන් අතරට ගොස් තම ජීවිතය විනාශ විය හැකි බව දැන දැනම කැපවී සේවය කරන ස්ත්‍රී පුරුෂාදීහු දාන පරමාර්ථ පාරමිතාව පුරන්නන් බවට පත්වෙති. ලෝකයෙහි සෑම කෙනෙක්ම ඉතා ඉහළින්ම සළකන්නේ තමන්ගේ ජීවිතය රැක ගැනීම පිළිබඳවයි. ඒ අගනා ජීවිතයට විපතක් විය හැකි බව දැන දැනත්, ඒ ගැන නොතකා මහජන සේවාවන්හි නිරතවෙන අය සිටිති.

තිරිසන්ගත සත්ත්වයන්ටද උපකාර වීමට ගොස් සියදිවි අහිමි කර ගන්නෝ නැත්තේ නොවේ. ඒ සියල්ලෝම තමන් ඉතාමත් උතුම් ජීවිතය ගැන නොසලකා ඉහත කී පරිදි අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කිරීම දාන පරමාර්ථ පාරමිතාව වශයෙන් සැලකිය යුතුය. අප මහ බෝසතාණන් වහන්සේ එක් ආත්මභාවයකදී වනයෙහි ගැඹුර වළකට වැටී පැටවුන් ලැබ සිටි කොටි දෙනක් දින ගණනාවක් නිරාහාරව සිට බැරිම තැන පැටවුන් කෑමට සූදානම් වෙද්දී බෝසත් තවුසා තම ශරීරය කොටි දෙනට ආහාර වනු පිණිස ගැඹුරු වලට පැන්නේ ය. මංගල ජාතකයෙන් දැක්වෙන පරිදි ඒ දාන පරමාර්ථ පාරමිතාව පිරූ අවස්ථාවකි.

මෙවන් අයුරින් අප මහ බෝසතාණන් වහන්සේ මේ ත්‍රිවිධ පාරමිතාවන් පිරූ අවස්ථා ජාතක පොත් වහන්සේ කියවීමෙන් දත හැකිය. විසයහ ජාතකය - සංඛ ජාතකය - වෙස්සන්තර ජාතකය ආදී වශයෙන් කියැවෙන ජාතක කථා වලින් සඳහන් වන්නේ දාන පාරමිතාව ඉහළම මට්ටමින් පිරූ අවස්ථා ගැනය. දාන උප පාරමිතාව ගැන කියැවෙන තැන්වල සිවි ජාතකය - චුල්ල පදුම සහ ඡද්දන්ත ජාතක කථා දක්වාලිය හැකිය. ඇස් දන්දීම, ලේ දන්දීම, දළ දන්දීම ඒ ප්‍රවෘත්ති වලින් දක්වා ඇත. දාන පරමාර්ථ පාරමිතාව ගැන කියැවෙන තැන සස ජාතකය - නිග්‍රෝධමිග ජාතකය - මහා කපි ජාතකය - ඛදිරංගාර ජාතකය වැනි ජාතක කථා කියවා බැලීම අගනේය. ඉතා ඈත කාලයක එනම්,

යටගිය දවස දඹදිව බරණැස බ්‍රහ්මදත්ත නම් රජ පෙළපතක් කාලයක්ම රජකම් කරන කල්හි, සිද්ධාර්ථ ගෞතම අප මහ බෝසතාණන් වහන්සේ මහත් වූ සැප සම්පත් ඇති බරණැස් නුවර මහ සිටු පවුලක උපත ලද්දේ ය. සකලවිධ සම්පතින් අනූනව වැඩුණු මේ සිටු කුමරා තරුණ වයසට පැමිණෙත්ම භාෂා ශාස්ත්‍ර ගැන පමණක් නොව විවිධ ශිල්පයන්ද හදාරා බරණැස් නුවර වාසීන්ගේ අවධානයට යොමු වූ පිළිගත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත්විය. පියාණන්ගේ ඇවෑමෙන් මහ සිටු පදවියට ද පත් මේ තරුන සිටු කුමරා, එදා පැවති චාරිත්‍රයක් අනුව, ඇති අය නැති අයට සැළකිය යුතුය යන මිනිස් දහමට අනුව, විවිධ අයට ඇප උපකාර කිරීම නිසා - රට වැසියාගේ සිත් සතන් දිනාගත් දානපතියෙක් බවටද පත්වූයේ ය.

වසවත් මාරයා!

මේ පූණ්‍යවන්ත සිටුවරයාගේ උදාර ගුණ සම්පත්තිය දිවැසින් දුටු පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් යුතුව දින හතක්ම ගතකොට සිටුවරයාගේ පින වඩ වඩාත් දියුණු කළ යුතු යැයි සිතා සමාපත්තියෙන් පිබිද, අටවැනි දින උදේ වරුවෙහි සිටුමන්දිරය වෙත වැඩම කළ සේක. ඒ අවස්ථාව සිටුතුමා ආහාර අනුභවයට වාඩිවුන මොහොතයි. මිදුල දෙස බැලූවිට උපශාන්ත ශ්‍රමයාණන් වහන්සේ නමක් දැක ඒකාන්තයෙන්ම අහසින් වැඩම කළ පසේ බුදු කෙනෙකැයි දැන රන්තැටියෙහි බෙදන ලද ව්‍යංජන සහිත ප්‍රණීත ආහාර බඳුන අතට ගෙන අසුනෙන් නැගිට, අතවැස්සෙකුට කථා කොට, “අර පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගෙන එන්නැයි “ දැන්වීය.

සහායකයා පසේ බුදුන් වෙත පැමිණෙන්ට සූදානම් වෙත්ම, සිටුවරයා කරගැනීමට සූදානම් වූ මහඟු පින්කම වළක්වනු පිණිස, ලෝකයෙහි සැමදා යහපත් දේ වළක්වනු ලබන අද අප වුවද පාපී බලයට යොමු කරවන, වසවත් මරු විසින් ක්‍ෂණිකව සිටු මිදුල මැද අතිභයානක ගිනි අඟුරු වලක් මවන ලද්දෙ ය. වසවත් මරු එයින් බලාපොරොත්තු වුයේ විපත් දෙකක් කිරීමටය. පසෙ බුදුරදුන් සතියක් පුරාම ආහාර පාන ගැනීමෙන්, නින්දෙන් හා හුස්ම ගැනීමෙන්ද වැළකී නිරෝධ සාමාපත්තියෙන් මිදුන අටවන දින උදෑසනයි. අද උන්වහන්සේට දානය නොලැබුනොත් පසේ බුදුරදුන් පිරිනිවන් පාන්නේ ආහාර නැතිකම නිසයි.එයින් පසේ බුදුන්ට විපතක් කළ හැකිය. දෙවැන්න බරණැස බෝසත් සිටුවරයාට හිමි මහපිනක් අහිමි කළ හැකිය.

ඉහත සඳහන් කරුණු දෙක උඩ පාපයට බළවත් මාරයා විසින් මෙබන්දක් සිදු කළ ද “ මගේ දිවි ගියත් මම මේ දානය පූජා කරන්නේමැයි” අධිෂ්ඨාන කරගත් බෝසත් බරණැස් සිටුවරයා අඟුරු වලට බැස පසේ බුදුරදුන් වෙත යාමට සූදානම් වෙත්ම, මහ කිහිරි අඟුරුවල තුළින් සුවිශාල නෙළුම් මල් එක එක බැගින් පිළිවෙලින් මතුවිය. ඒ නෙළුම් කෙමි මත ගමන් කළ බෝසතාණෝ නිරුපද්‍රිතව තම බඳුනේ ආහාර පසේ බුදු රදුන්ගේ පාත්‍රයට පූජා කළේ ය. පසේ බුදුපියාණෝ පින් අනුමෝදන් කොට අහසට පැන නැගී හිමාලයට වැඩම කළ සේක. “ පාපී වසවත් මාරය, මේ දානය වැළැක්වීමට ඔබ දැරූ ප්‍රයත්නය නිසා ඔබ සිදු කරගත් මහා පාපය මම දනිමියිද” බෝසත් සිටුකුමරු ප්‍රකාශ කරත්ම වසවත් මරු අතුරුදන් විය.

මේ මහා ගිනි වලට බැස්සොත් මගේ ජීවිතය ඒකාන්තයෙන්ම නැති වෙන බව පැහැදිලිව දැන දැන ජීවිතය ගැන නොතකා තම දානයම සම්පූර්ණ කර ගැනීමට බෝසත් බරණැස් සිටුකුමරු ඉදිරිපත් වීමෙන් සිදු කළේ දාන පරමාර්ථ පාරමිතාවයි. ජීවිත පරිත්‍යාගයෙන් වුවද මේ දානයමය පිංකම සිදු කරගැනීමට ඉදිරිපත් වීම දාන පරමත්ථ පාරමිතාව බවට පත්වන්නේ ය.

මෙවන් අයුරින් ජීවිතය පිළිබඳව නොතකා වුවද උදාර පුණ්‍ය ක්‍රියාවන් සිදුකර ගැනීම ජීවිතය දන්දීමකි. මෙවැනි විශිෂ්ඨ ගුණ ඇති පුණ්‍යවන්ත පුද්ගලයෝ ඉහත සඳහන් පරිදි දාන පාරමිතාව දාන උප පාරමිතාව සහ දාන පරමත්ථ පාරමිතාව යන තෙවැදෑරුම් අංගයන්ගෙන් යුක්ත දාන පාරමිතාව සම්පූර්ණ කර ගනිති. සම්මා සම්බුදු බව පතන මහබෝසත්වරු මේ ත්‍රිවිධ ආකාරයෙන්ම දාන පාරමිතාව සම්පූර්ණ කරගත යුතුය. මෙය ඉතා අසීරු කරුණකි. අති දීර්ඝ කාලයක් පුරා පිරිය යුත්තකි. පච්චේක බෝධිය නොහොත් පසේ බුදු බව පතන උත්තමයෝ දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා ඉහත සඳහන් දාන පාරමිතාවත් දාන උපපාරමිතාවත් පිරිය යුතුය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ. අඟ පසඟ දන්දීමද දාන උපපාරමිතාව වශයෙන් ඉහතින් විස්තර කරන ලදී. අද ගිහි පැවිදි අපේ බෞද්ධ පින්වතුන් පමණක් නොව අන්‍ය ආගමික භවතුන්ද “මගේ මරණයෙන් පසු මේ ශරීරය වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස පරිත්‍යාග කරන්නැයි “ ලියා කියා තබති. ඒ ශරීර කොටස් ගෙන අතපය හිස්කබල සහ පපුවෙහි ඉළ ඇට බෙහෙත් කවා පිරිසුදුව තබා හදිසි අනතුරු වලට පත් බරපතළ රෝගීන්ට සවිකිරීමට ගනිති. අදහස - පරිත්‍යාගයක් බැවින් එකී පුණ්‍ය චේතනාවද ජීවත්ව සිටියදී ලියා තැබූ එය ඒ පින්වතාගේ දාන උප පාරමිතාවක් බවට පත් වන්නේ ය.

තවද ඇස් දන්දීම කරන්නේ මරණින් පසුවය. ඇස් දන්දීමේ කැමැත්ත පළ කරන අවස්ථාවේදීත් ඉන් පසුවත් මේ දෑස් පිදීම මගේ මරණින් පසුව සිදුවුවද මාගේ දාන උපපාරමිතාව බවට පත්වේවා යි ප්‍රාර්ථනා කළ යුතුය. එවිට එය උප පාරමී ධර්මයක් බවට පත්වේ. යමෙක් වකුගඩු ආදී තම ශරීර අංගයක් මුදලකට පොරොන්දු වී දෙන විට එය දාන පාරමිතාවක් බවට පත් නොවේ. එය විකිණීමක් වන හෙයිනි . තමා විසින් නිරාධ්‍යාෂයෙන් පරිත්‍යාග කරන ලද වකුගඩු ලබා ගත් පුද්ගලයා හෝ ඔහුගේ ඥාති මිත්‍රාදීන් කළ උපකාරයට ප්‍රත්‍යූපකාරයක් වශයෙන් යම්කිසි දීමනාවක් පරිත්‍යාග කළහොත් එය ලබා ගැනීම නිවැරැදිය. තමා බලාපොරොත්තු නොවූ නමුත් කෙළෙහි ගුණයක් වශයෙන් කළ උපකාරයක් නිසා තම දාන චේතනාවට හානියක් නොවේ. දෙනවිට මෙය මගේ පාරමිතාවක් බවට පත්වේවායි යන පින්සිත පලුදු කර නොගෙන රැකගත යුතුය. යම් කිසිදෙයක් නොදුන්නද ඒ පිළිබඳව ලෝභ සිතිවිල්ලක් හා වත් ද්වේශ සහගත සිතිවිල්ලක්වත් කිසිසේත්ම ඇතිකර නොගත යුතුය.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home