Thursday, November 24, 2011

ශීල පාරමිතාව


දස පාරමිතා ධර්මයන් අතුරෙන් දෙවැනි තැනට වැටෙන්නේ ශීල පාරමිතාවයි. ශීලයෙහි ප්‍රධාන ලක්ෂණය කය, වචන දෙකින් නොකළ යුතු දෙයින් වැළකී, කළයුතු දෙයෙහි යෙදීම සහ කය වචනය පුරුදු පුහුණු කිරීමය. ඒ දෙක සකස් කර ගැනීම අනුව සිතද නිසි පරිදි ගුණයටම නැඹුරු කර ගත හැකිය. ඒ නිසා දානය සේම ශීලයද අනුක්‍රමයෙන් දියුණුවට පත්කර ගත යුතුය. පැරැණි දඹදිව විවිධ වෘත ශීල වශයෙන් රකින ලද තවුසෝ සිටියෝ ය. ගවයන් සේ, සුනඛයන් සේ ජීවත්වීම , ගෝ වෘත කුක්කුර වෘත වශයෙන් හඳුන්වා තිබේ.

බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ ආර්ය්‍ය ශීලය පිළිබඳවයි. රහත් බව, පසේ බුදු බව, සම්මා සම්බුදු බව පතා, වැරැදි දෘෂ්ඨි වලින් වැළකී කරුණාව පෙරටු කොටගත් බුද්ධිමත් බවින් මේ ශීල පාරමිතාවද සපුරා ගත යුතුය. ශීලයෙහි ලක්ෂණය වන්නේ කය වචන දෙක පාපයන්ගෙන් වළක්වා වරදට වැටෙන්නට නොදී රැක ගැනීමය. එසේම වඩවඩාත් යහපත් ක්‍රියාවන්හි යෙදීමට සිත යොමු කරවන බවය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ. එනම් සිල්වත් පුද්ගලයා තුළ සකල විධ කුසලයෝම පිහිටන බවත්, වැඩෙන බවත්ය. ශීලය පිළිබඳ සකලවිධ අංග විසුද්ධි මාර්ගය නැමැති ග්‍රන්ථයෙහි දක්වා තිබේ.

පැවිදි පක්ෂය රකින ශීලය පැවිදි ශීලය වශයෙන්ද, ගිහිභවතුන් විසින් රකින ශීලය ගෘහස්ථ ශීලය වශයෙන්ද පෙන්වා ඇත. නිවන පතා පින්දහම් කරන භවතුන් හැකි අයුරින් මේ ශීලය තම ජීවිතයට සම්බන්ධ කොටගෙන යහපත් ගති පැවතුම් ඇති ගුණවත් ජීවිතම ගත කරති. තවද චාරිත්‍ර ශීල, වාරිත්‍ර ශීල යනුවෙන්ද ශීලය දෙයාකාරය. චාරිත්‍ර ශීල යනු අප විසින් කළ යුතු දෑ නිසි පරිදි කලට වේලාවට, පිළිවෙළකට ක්‍රමවත් පරිදි අවංකවම සිදුකිරීමය. කියන දේ වුවද එසේමය. චාරිත්‍ර ශීලය නම් නොකළයුතු දේවල් දැන කියාගෙන වැරැදි සහගත සියලු දෙයින් වැළකීමය. අකටයුතුකම් වලින් වැළකීම එයින් අදහස් කෙරේ. කළයුතු දේ කිරීමත්, නොකළයුතු දේ නොකිරීමත් යන මේ කරුණු දෙක යම්කිසි ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වඩා වර්ධනය කරගත් විට ඒ පුද්ගලයා තුළින් ඉතා ඉහළ මට්ටමකින් ශීලය රැකෙන්නේ ය.

ඇතැම් අයගේ සිල්වත් බව දවසින් දවස, ටිකෙන් ටික පිරිහෙන අංශයට වැටෙන්නේ නම්, එය හානභාගිය සීලයයි. තමා තුළ පවතින යහපත් ගතිපැවතුම් වැටෙන්නට - පිරිහෙන්නට ඉඩ නොතබා ගත යුතු බව මෙයින් අදහස් කෙරේ. තමා තුළ පවතින සිල්වත් බව ඒ ආකාරයෙන්ම අඩුවැඩි නොවී පවතින තත්ත්වයෙන්ම රැක ගැනීම ඨ¢තිභාගිය සීලයයි. වඩ වඩාත් බණ භාවනාවන්ට නැඹුරු වී ප්‍රථම ධ්‍යානය, ද්වීතිය ධ්‍යානාදිය උපදවා ගැනීමට නැඹුරු වුන ගතිය - විසේස භාගිය ශීලය වන්නේ ය. නිබ්බේධභාගිය ශීලය යනු සෝවාන්, සකෘදාගාමි, අනාගාමි , අරහත් යන මාර්ග ඵල අරමුණු කරගෙනම එනම් ලෝකෝත්තර මාර්ගයට නැමුනු ශීලයයි.



මේ කියන ලද චතුරාකාර ශීලයන්ගෙන් විශේෂ භාගිය, නිබ්බේධභාගිය යන ශීලයන් දියුණු කර ගැනීම බුදු බව පතන පුද්ගලයාගේ සංසාරගතව පැවැත එන ගුණයකි. සෑම ආත්ම භාවයකදීම ඔහුගේ ගතිය මෙයාකාරමය. ලෝක සත්ත්වයෝ පුහුදුන් ගති ඇත්තෝ ය. ඒ නිසා බොහෝ දෙනා ශිලාදි ගුණ රැකීමට අකමැති වෙති. නිරන්තරයෙන්ම පුහුදුන් අප කාගේත් සිත දුවන්නෙ ඇස පිනවන රූප, කණ පිනවන ශබ්ද, නාසය පිනවන සුවඳ, දිව පිනවන රස සහ ශරීරය පිනවන පහසයන්ටය. ඒ නිසා සිල් රැකීමට නොව පංචකාම සම්පත්තිය කරා දිවීම සකල සත්ත්වයන් තුළම පවත්නා ස්වභාවයයි.

මාර බලය නමින් දක්වා ඇත්තේද එයම බව තේරුම් ගැනීමට අදාළ දේශනා බුදු දහමින් කොතෙකුත් දැකගත හැකිය. සියළු පාපයන්ට ආධිපත්‍යය දරණ ලොව මෙල්ල කරගෙන වෙසෙන පුද්ගලයා වසවත් මරුය. ඔහුගේ පාප බලයට සතර අපාගත සත්ත්වයින් පමණක් නොව, මනුෂ්‍යයන්ද ඊටත් ඉහළින් වෙසෙන දෙවියන් සහ බ්‍රහ්මයන් ද යටත් ය. වසවත් මරු නිරන්තරයෙන්ම කැමැති වන්නේ සියලු සත්ත්වයෝම ඇණ කොටා ගනිමින් පාපයන්හි යෙදෙමින් අකුසල් කර කියාගෙන නැවත නැවත සසර සැරිසරනු දැකීමටය.

යමෙක් ඊට එරෙහිව ඉදිරිපත්ව මේ සත්ත්වයන්ට කරුණු පහදා දී පාපයන්ගෙන් වළක්වා යහපත් ක්‍රියාවන්හිම යොදවා සදාකාලික නිවන නම් වූ නැවත උපත ලැබීම වළක්වනවාට කිසිසේත්ම කැමති නැත. එයට හේතුව සියලුම ලෝක සත්ත්වයෝ වසවත් මරුගේ ග්‍රහණයට හසුවූ අය බැවිනි. බුදු, පසේබුදු , මහරහත් බවට පත් උතුමන්ටත් මේ බාධක වලින් ගැලැවිය නොහැක. කවරකෙනෙකුට වුවද හොඳක් කරන විට කෙබඳු මුහුණුවරකින් හෝ ඉදිරිපත්ව බාධා පමුණුවන්නේ මාර නැමැති මේ පාප බලයයි. එබැවින් දාන පරිත්‍යාග ආදී යහපත් දෙයක් කරන විට වුවද, සීලාදී ගුණයක්, ධර්මයක් රකින විට වුවද, සැකෙවින් කියතොත්, කවර ආකාරයක හොඳ දෙයක් කරන විට වුවද මෙය වසවත් මාරයාගෙන් එන පාප බලය වශයෙන් සැලකිය යුතුය.

“මොහු මට මෙසේ කළේය, මෙසේ කීවේය” ආදී වශයෙන් එකිනෙකා ගැන වෛරකෝන්තර ඇතිකර නොගෙන මෙම පාප බලය ගැන මෙනෙහි කොට බුද්ධිමත් ලෙස සිත ගුණයටම නැඹුරු කරගෙන ඉවසීමෙන් යුතුව ක්‍රියාකිරීම බුදු බව පතන මහ බෝසත්වරුන්ගේ ඉහළම ගුණයයි. ඒ උදාර ගුණය අපිදු පුරුදු – පුහුණු කර ගත යුතු යැයි සෑම කෙනෙක්ම අධිෂ්ඨානයක් වශයෙන් ගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.

ශීලයන්හි පළමුවෙනි පියවර ලෝකයා විසින් ප්‍රචලිතව පිළිගත් පංචශීල ප්‍රතිපදාවය. එය සම්මා සම්බුදුවරුන් පහළ නොවන කාලවලද ශිෂ්ට සම්පන්න මිනිසුන් සම්මත කර ගත් සදාචාරාත්මක ප්‍රතිපදාවකි. ගෞතම බුදුපියාණන් වහන්සේ ද එය සම්මත කොට වඩාත් ක්‍රමවත්ව බෞද්ධ ලෝකයාට ඉගැන්වූ සේක. ප්‍රාණ ඝාතයෙන් සහ සත්ව හිංසාවෙන් වැළකීමත්, ඊට අනුබල දීමෙන් වැළකීමත් ප්‍රාණ ඝාතටම අයත් ශීක්‍ෂණයෝය. මේ සිකපදයෙන් හික්මිය යුත්තේ මිනිසාගෙන් පටන් පණ ඇති කවර සත්ත්වයෙකු හෝ ඝාතණයෙන් පමණක් නොව හිංසනයෙන් ද වැළකීමය. එසේම සොරකම, අනාචාරය, අසත්‍යවාදී බව සහ කේළම, මත්ද්‍රව්‍ය භාවිතය යන වැරදි ක්‍රියාවලින් ද වැළකීම පොදු සමාජයේ යහපත පිණිස හේතු වන බව කවුරුත් දන්නා කාරණාවෝය.

මහදාන පහක්!

ඉහත සඳහන් මේ උදාර ගුණාංග රකින විට අපේ හිත, කය, වචනය යන තුනෙන් සිදුකෙරෙන බොහෝ පාපකර්ම සිදු නොවේ. එයින් කරුණා, මෛත්‍රිය මුල්කර ගත් ගුණධර්ම අපේ සිත් සතන් තුළ වඩා වර්ධනය කරගත හැකිය. එබඳු පුද්ගලයා යහපත් ගති පැවතුම් ඇති කෙනෙකි. ඔහු තුළ විෂම ගති පැවතුම් නැත. එබඳු ගුණවත් අයගේ දැකීම – ඇසුරු කිරීම ලෝකයා පි‍්‍රය කරති. බුදු බව පතන මහ බෝසත්වරු මේ කියන යහපත් ගතිපැවතුම්වලින් යුත් හික්මුණු පුද්ගලයෝය. භවයක් භවයක් පාසා පැතුම් පතාගෙන එන පුද්ගලයන් බැවින් මේ කියන ශිලාදි ගුණ නිතැනින්ම පිහිටවන්නේය.

එනිසා කල්පනාකාරීව ඇසුරු කරන විට බෝසත් ගුණ ඇත්තෝ කවුරුන්ද යන්න පැහැදිලිව දැනගත හැකිය. පසේ බුදු බවින් හෝ රහත් බවින් නිවන පතන උදාර පුද්ගලයෝ ද මෙකී ගුණ වඩන්නෝය. පංචශීලය පුරන පුද්ගලයා මහා දාන පහක් පුදන පුද්ගලයෙකු වශයෙන් ද බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දී ඇත. ඒ බව අංගුත්තර නිකායේ පංචක නිපාතයෙහි ද දක්වා තිබේ. පඤචිමානි භික්ඛවේ, ඉදා මහා දානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි පුබ්බානි න සංකීයන්ති න සංකී ඉස්සන්ති අප්පතිකුට්ඨානි සමණෙහි, බ්‍රාහ්මණෙහි විඤ්ඤුහි.

ඇවැත්නි මහණෙනි! කියා නිම නොකළ හැකි තරම් කාලයක පටන් උසස් යැයි සලකනු ලබන - සැමදා ජන සමාජයෙහි පවතින – උදාර ගුණ ඇති මනුෂ්‍යයන්ගේ චාරිත්‍රයක් වූ කිසිදාක සමාජයට අවශ්‍ය නැතැයි ඉවත නොදමන ලද – අතීත බුදුවරුන් විසින් ද උසස් ලෙස අනුමත කළ දාන නමින් දැක්වෙන මහා දානයෝ පසක් ඇත. ඒ දාන පස දැනුදු ලෝකයා බැහැර නොකළ යුතුය. මතු ද ලොව පහළ වන සම්මා සම්බුදුවරයන් වහන්සේලා ද බැහැර නොකරති. මේ දාන පස ශ්‍රමණ බ්‍රහ්මණ ආදීන් සහ මහ නුවණැතියන් විසින් ප්‍රශංසා කරන ලද්දේ යැයි බුදුරදුන් විසින් ඉහත සඳහන් ශ්‍රී මුඛ පාඨයෙන් ඉතා ඉහළින්ම දක්වා ඇත.

පංචශීල ප්‍රතිපදාව නිසි පරිදි රකින්නේ නම් ඒ කාන්තාව හෝ පුරුෂයා නැත්නම් පැවිද්දා සත්ත්වයන් ප්‍රමුඛ මිනිස් ප්‍රජාවටම මහා පරිත්‍යාගයක් කරන්නෙකු බවට පත්වන බවය. මේ පස්පව්වලින් කෙනෙක් වළකින විට ඔහු නැත්නම් ඇය නිසා මුලු සමාජයටම බයක් ඇති නොවේ. මේ වැරදි පහ කරන විට කෙනෙක් ගැන වුවද අන් අයට ඇතිවන්නේ බියකි. සත්ව හිංසාව සහ ප්‍රාණාඝාත කරන කෙනෙක් යන එන විටද අන් අයට බියක් ඇති වේ.

සොරකම් කරන්නෙක්, නරක චරිත ඇත්තෙක්, බොරු කේළාම් කාරයෙක්, මත්ද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් දුටු කෙනෙහිම අන් අයට ඇතිවන්නේ සැකයකි, බියකි, පිළිකුලකි. මොහු නිසා කවර මොහොතක විපතක් වේදෝයි සැකක්, බියක් ඇතිවීම ස්වභාවයයි. මේ කාරණය ගැන සැලකිලිමත්ව සිතා මෙම පාපකර්ම පහෙන් වැළකිය යුතුය. එවිට ඔහු බයක්, සැකක් ඇති නොකරන කෙනෙකු බැවින් මනා ශක්ති සම්පන්න පුණ්‍ය කර්මයක් වූ අභය දාන 5 ක් දෙන කෙනෙක් බවට පත් වන්නේය.

එබැවින් මේ ශීලය, දාන පාරමිතාවට පමණක් නොව අනෙකුත් පාරමිතාවන්ට ද සම්බන්ධ වන පිළිවෙතක් බව සැලකිය යුතුය. අප නිරන්තරයෙන්ම කථා කරන්නේ අපගේ සිල්වත්, ගුණවත්කම් ගැනය. එසේ වුවද ක්‍රෝධයක්, කෝපයක්, වෛරයක් ඇතිවන අවස්ථාවන් හිදී සිල්වත්, ගුණවත්, පුද්ගලයෙක් තුළ තිබිය යුතු ගුණ අප ළඟ නැත. හිත කලබල වෙන දෙයක් ඇසුන විට තමා පිළිබඳ දෝෂාරෝපණයක් ආරංචි වූ විට අර සිල්වත් යැයි කියා ගන්නා පුද්ගලයා මහත් සේ කුපිත වේ. කලකෝලාහල කර ගැනීමට, ඇණකොටා ගැනීමට ඉදිරිපත් වේ. එයින් පැහැදිලි වන්නේ ඔහු තුළ තමා ගැනම කියාගන්නා ගුණ නැති බවය.

අප ළඟ හදිසි රෝගාබාධයන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ඇත. හදිස්සියකට ගැනීමට ගෙදර දොරේත්, වන්දනා ගමන් බඳු දීර්ඝ ගමන් යන එන වේලාවලදීත් අවශ්‍ය බෙහෙත් හේත් රැගෙන යෑම සිරිතකි. බෙහෙත් ළඟ තිබෙන නිසා ඒවා නිතර පාවිච්චියක් නැත. හදිසි ආබාධයක් ඇතිවුණ විට ඊට අදාළ බෙහෙත ඒ ඒ වේලාවට ගැනීම සිරිතය. දත් කැක්කුමට ගන්නා බෙහෙත් ළඟ තිබුණු පළියටම පාවිච්චි කිරීමක් නැත. දත් කැක්කුමක් ඇතිවුවහොත් බෙහෙත් ප්‍රමාණවත් පරිදි ගැනීම සිරිතයි.

එසේම අපේ හිතට ක්‍රෝධයක්, කෝපයක්, වෛරයක් ඇති වූ විට ඉවසීම, කරුණාව, මෛත්‍රිය, සීලය බදු ගුණ සිහියට නංවාගෙන ඇතිවුණු ක්‍රෝධ කෝපාදිය වහා නැතිකර ගත යුතුය. ගුණයෙන් කරන්නේ අගුණය නැති කිරීමයි. ඒ ආකාරයෙන් අප තුළ ඇතිවන කෙලෙස් එනම්, රාග, දෝෂ, මෝහ නැමැති අකුසල් ඇතිවන විටම දාන සීලාදී ගුණ සිතට නංවාගෙන අර අකුසල් ඇතිවන විටම දාන සීලාදී ගුණ සිතට නංවාගෙන අර අකුසල් නැතිකර ගත යුතුය. මීට නිදසුනක් වශයෙන් දැක්විය හැකි අපේ රටේම සිදුවූ කදිම කථා ප්‍රවෘත්තියක් අට්ඨසාළිණි අටුවාවෙහි දක්වා තිබේ.

පෙර ලක්දිව උතුරු වඩුන්නාව නැමති ප්‍රදේශයෙහි ගම්වැසි පුද්ගලයෙක් ගොවිතැන් කිරීමෙන් තල, මුං ආදිය වැවීමෙන් ගව පාලනයෙන් දිවි රැක ගත්තේය. මේ ගොවියා තම බිරිඳ සහ දූ දරුවන් සමඟ මෙබඳු අහිංසක ජීවිතයක් ගත කරමින් තව කෙනෙකුට හිරිහැරයක්, හිංසාවක් නොවන අයුරින්ම ජීවත්වීම සිරිතක් කරගෙනම සිටියේය.

දිනක් ඔහු කුඹුරට ගොස් හරක් බානක් බැඳගෙන උදේ වරුවේම කුඹුර සීසා දවල් වන විට නගුලෙන් ගවයන් ලිහා මඩ සෝදා තණ කෑමට මුදාහැර තමා ද ජලස්නානය කොට ගෙදර ගොස් දිවා ආහාරය ගෙන ආපසු පැමිණ ගවයන් දෙදෙනා බැලූ නමුත් එයින් එක් හරකෙක් දක්නට නොලැබුණි. සිටිය ගවයා ගෙදර ගොස් බැඳ තබා නැතිවූ හරකා හොයා යන එන අයගෙන් තොරතුරු අසද්දී දැනගන්නට ලැබුණේ මහ වනය පැත්තට එබඳු පාට ඇති ගොනෙක් ගිය බවයි. ගොවියා ද, ගවයා සොයනු පිණිස කැලයට යද්දී වනාන්තරය පටන් ගන්න හරියේම වන සෙනසුනක් ද තිබුණේය.

එහි මධ්‍යම වයසේ භික්ෂූන් වහන්සේ නමක් සක්මන් කරනු දැක, උන්වහන්සේ වෙත ගොස් වඳින විට උපාසකය, ඔබ කොහේ සිට එන්නේදැයි තෙරුන් විසින් අසන ලදී. “ස්වාමීනි, මම උතුරු වඩුන්නාව ප්‍රදේශයේ කෙනෙක්මි. උදේ වරුවේ සී සෑ ගොනුන් දෙදෙනාගෙන් එකෙක් මේ කැලය පැත්තට ආ බව මඟ යන එන්නන්ගෙන් දැන ගන්නට ලැබුණි.

ඒ අනුව ගොනා සොයා ගෙන යන මට ඔබ වහන්සේ දකින්නට ලැබුණු බැවින් වැඳ නමස්කාර කිරීමට පැමිණියෙමි.” ඔහුට සිදුවි හැකි විපතක් දුටු මේ කියන පිංගල බුද්ධරක්ඛිත තෙරණුවෝ ඒ බව නොහඟවා, “උපාසකය, එසේ නම් පන්සිල් සමාදන් වී යන්නැයි” කියා ඔහු පංචශීලයෙහි පිහිටුවනු ලැබූහ.

උපාසක තැන පන්සිල් සමාදන්ව භික්ෂු නමක් දකින්නට ලැබීම සතුටක් යයි සිතා උන්වහන්සේට නැවත ද නමස්කාර කොට වනයට ඇතුල් විය. වනය තුළ හැසිරෙන ඔහුට මහ බරට ඇඟැට ගසක අත්තක් නොවන දෙයක් වැටුණු බව දැනුණි. වහා බැලූ විට දක්නට ලැබුණේ තමා වෙලාගැනීමට සූදානම් වන පිඹුරු තඩියෙකි.

පිඹුරාගෙන් බේරීමට වෑයම් කළ ද ගැලවී ගත නොහැකි විය. පිඹුරා ගොවියා කෙමෙන් කෙමෙන් වෙලාගෙන වෙලාගෙන එය දණහිස් දක්වා වෙලාගත් විට අතේ තිබුණ මුවහත් කෙටේරියෙන් පිඹුරාගේ හිසට කොටා මැරීමට සිතා කෙටේරිය ඔසවත්ම ඔහුට මෙබඳු සිතක් පහළ විය. “අහෝ මම කෙසේ නම් මේ සතා මරම් ද” සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් වෙතින් පංචශීලය සමාදන්ව ආ ගමනකි. කෙටේරියෙන් කොටා පිඹුරා මැරුවොත් ප්‍රාණඝාත පාපකර්මයකට වැටේ. එබැවින් එයින් වැළකී මෛත්‍රී සිත ඇතිකර ගත යුතු වන්නේ මෙබඳු අවස්ථාවකදීය. භයත්, කෝපයත්, දෙකම වළකාගෙන ඔහු එසවූ කෙටේරිය සහිත අත පහතට ගත්තේය. පිඹුරාගේ වෙනසක් නැත. ඌ කෙමෙන් වෙලාගෙන වෙලාගෙන ඉඟටිය දක්වා තද කරත්ම නැවත ද ගොවියා පිඹුරා මැරීමට කෙටේරිය එසවීය. එකෙනෙහිද ඔහුගේ හිතට ආවේ පෙර අදහසමය.

මගේ ශීලය ආරක්‍ෂා කර ගත යුත්තේ මෙබඳු භයක්, කෝපයක් ඇතිවුන විටදීය. මගේ දිවි ගිය ද මේ සතා නොමරමීයි සිතා එසවූ අත පහත දා ගත්තේය. තුන්වෙනි වතාව වන විට පිඹුරා කිසිලි දෙක දක්වාම වෙලාගෙන ඇත. “මේ නපුරු සතාගෙන් මට බේරුමක් නැත. මූ සූදානම් වන්නේ මගේ හිසට වල්ගයේ ඇති කටුවෙන් විද මරා ගිල දැමීමටය. මීට වඩා නම් ශීලය රැකිය නොහැකි” යැයි සිතා අමාරුවෙන් දකුණත දිගහැර කෙටේරියෙන් පිඹුරු හිසට කොටන්නට සිතා කෙටේරිය ඇති අත ඔසවත්ම නැවත ද ඔහුගේ සිතට ප්‍රාණඝාතයෙන් වැළකිමියි යන පළමු සික පදය සිහිවිය. සිල්වත් මහතෙර නමකගෙන් පන්සිල් සමාදන්ව ආ මම ශික්ෂා පදය රැකිය යුතු අවස්ථාව පැමිණි විටම සිකපදය කඩා ගැනීම සිල් රැකීමක් නොවේ. එය – නමට පන්සිල් ගැනීමකි.

”අසනීපයක් ඇති වූ විට බෙහෙතක් පාවිච්චි කරන්නාක් මෙන් ප්‍රාණඝාතයක් කළ යුතුම මොහොතකට පැමිණි විටදී සීලයට මුල් තැන දෙමින් එය වැළකීම නියම ශීලයම වන්නේ යැයි” සිතා, ජීවිතය ගියද සිකපදයක් නොකඩන්නෙමියි ස්ථිර ලෙසම අධිෂ්ඨාන කොටගෙන කෙටේරිය ඈතට වීසි කළේය. ඔහු ලෙඩ හැදුන විට බෙහෙත ගත්තාක් මෙන් බියත්, කෝපයත් ඇති වූ මේ මොහොතේ ඇති කර ගත් ඒ ශීල බලය නිසාම පිඹුරාට දැනුණේ තමා දැවෙන ලී කඳක් වෙලාගෙන ඉන්නාක් බඳු රශ්නයෙකි. වහා නොසිතපු අයුරින් වෙළුම ලිහා පිඹුරා වනයට ඇදී ගියේය. දැන් මේ ගොවියාට ශාරීරිකව මහ වේදනාවකි.

ඇඟ පොඩිවීම නිසා ඒ ඇතිවූ වේදනාවෙන්ම අමාරුවෙන් ආපසු කැළයෙන් පිටව වනසෙනසුනට පැමිණ එහි ගල් පඩියක් මත ඉඳගත්තේය. පිංගල බුද්ධරක්ඛිත තෙරණුවෝ රහත් නමකි. උන්වහන්සේ ගොවියා දැක ළඟට පැමිණ ඉල්ලූ පරිදි පැන් ටිකක් බීමට දී ඔහු කී ප්‍රවෘත්තිය අසා මෙසේ පැවසූහ. “උපාසකතුමනි, ඔබේ ශීල බලය නිසා පිඹුරාට උගේ සිරුර පිළිස්සෙන බවක් දැනෙන්නට විය. වහා වෙලුම අතහැර කැළයට ඇදුණේ ඒ නිසාය. ඔබට විපතක් විය හැකි බවත්, එයින් ඔබ ගැලවෙන බවක් කලින් දැනගත් නිසා පන්සිල් සමාදන්ව යන ලෙස මම ඔබට මතක් කළෙමි. ඔබ බොහෝ දෙනා සේ පන්සිල් සමාදන් වූවා පමණක් නොවේ. නියම අයුරින්ම පන්සිල් රැක්කෙහිය. මෙය ශීලයෙහි ඇති දිට්ඨධම්ම වේදනීය විපාක කොටසකි. එකෙනෙහිම ලැබෙන කුසල බලයකැයි පවසමින් උතුරු වඩුන්නාවෙහි ගොවියාට ප්‍රශංසා කළ සේක.

මේ කථා ප්‍රවෘත්තිය මීට වඩා ටිකක් වෙනස්ව ධාතු සංයුක්ත අට්ඨකම් වර්ණනාවේ ද දක්වා ඇත. එහි සඳහන් වන්නේ අන්තර වඩ්ඩමාන පර්වතයෙහි සිද්ධියක් වශයෙනි. තවද අම්බරිය – කුටුම්බරිය රුහුණු රට පිහිටි බවත්, මේ කියන පිංගල බුද්ධරක්ඛිත තෙරණුවෝ ඒ විහාරස්ථානයක විසූ බවත් දැක්වේ. මෙම කථාවෙන් ද ශීලය රකින ආකාරය ගැන පැහැදිලි කොට ඇත. බොහෝ විට සිදුකෙරෙන්නේ ප්‍රතිපත්තියක් ආරක්‍ෂා කළ යුතු අවස්ථාවක් පැමිණි විට එය නොරකින බවකි. සාමාන්‍ය වශයෙන් බොහෝ අයගෙන් අසන්නට ලැබෙන්නේ “මම බොහෝම ඉවසිලිවන්තයි.

මොනම දෙයකටවත් කලබල වෙන් නැහැ. මා ළඟ මෙවන් ගතිගුණ පවතිනවා” යැයි කියන අය ප්‍රශ්නයකට මුහුණ දෙන විට අර කියන ගතිගුණ කිසිවක් නැති බව පැහැදිලිවම දක්නට ලැබෙන්නකි. ලෙඩේ මතු වූ විට බෙහෙත පාවිච්චි කළ යුතුවාක් මෙන් ම ක්‍රෝධ, කෝපාදිය ඇති වූ විගසින්ම ශීලය, ඉවසීම, කරුණාව බඳු ගුණ වහා මතුකර ගෙන ක්‍රෝධය, රාගය, කෝපය යටකර ගත යුතුය. අර පිඹුරා, ගොවියා වෙලාගත් විට කළේ එයයි. එබඳු ශීලාදී ගුණ වැඩිය හැක්කේ බෝධිසත්ව ගුණ ඇති අයටය. මේ කරුණු ගැන සළකා ශීලය පාරමිතා ධර්මයක් වශයෙන් ම වැඩිය යුතුය.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home