විශ්වය හසුරුවන පංච නියාම ධර්ම...
විශ්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉදප්පච්චයතා මූල ධර්මය අවබෝධවීමත් සමග හේතුඵල ධර්මතාවයට අනුව විශ්වයේ සියල්ල පටිච්ච සමුප්පන්නව සිදුවන ආකාරය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාක්‍ෂියට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ දර්ශනය මගින් එතෙක් පැවති භාරතීය දෘෂ්ටි සිල්ල නිශ්ප්‍රභා විය. විශ්වයේ සියලු සිද්ධි නියාම ධර්ම පහක විධායකයට යටත් බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය. ඒ අනුව උතු, බීජ, ධම්ම, චිත්ත හා කම්ම යන නියාම ධර්ම පහ මගින් සියලු සිද්ධි අර්ථ දැක්විය හැකිය.
කාලයෙන් නිරපේක්ෂ අවකාශය වනාහි නිරන්තර විපරිනාමයට පත්වන සිද්ධි සහ සංයුතිවලින් සැදුම් ලත් එකකි. එම සමස්තය නම් වූ විශ්වය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ථ, රස, ඕජා යන ශුද්ධාෂ්ටයෙන් (ක්‍ෂුද්‍රාෂ්ටයෙන්) සමන්විත රූප ධාතුව වෙයි. රුප්පනය වීම හෙවත් අනවරත විපරිනාමය එහි ප්‍රධාන ධර්මතාවය යි. ඒ විපරිනාමය ඉදප්පච්චයතා න්‍යායට යටත් ය. ධම්ම නියාමයෙන් පැහැදිලි කෙරෙන, ස්වභාවයෙන් සිදුවන ඒ සියල්ල ස්වභාව ධර්මය යි. ජීව අජීව සියල්ල ඒ යටතට සංගෘහිත වේ. සතර මහා ධාතුන්ගේ සමවායෙන් සැදුම්ලත් ඒ සියලු දේ තුළ කර්කෂ බව හෙවත් තද - මොළොක් බව, ගලායන, කැටි කෙරෙන බව, වැඩෙන දිරන බව හා හැකිළෙන පිම්ඹෙන බව යන සර්ව සාධාරණ ගුණ අඩුවැඩි සම වශයෙන් ඇත.
පස්, ගල්, කඳු ඇළ, දොළ, ගංගා, ඉර, සඳ තාරකා ආදී සියල්ල එක් ගොඩකටත්, ගස්වැල් හා සත්ත්ව සමූහය තවත් ගොඩකටත් ගෙන අජීව හා ජීව යන කොටස් දෙකකට මෙකී රූප ධාතු වලින් සැදුම් ලත් සමස්ත විශ්වය බෙදනු ලැබෙයි. ජීව හා අජීව දෙකේ වෙනස කුමක්ද? පස්, ගල්, ගංගා හා මැරුණු කොටස් ආදී සියලු අජීව අවිඤ්ඤාණක වස්තූන්හි අවස්ථා විපර්යාසයක් හා දිරායාමක් (ජරා) ප්‍රකට වුවත්, ඒවා සැදුම් ලත් රූප කලාපයන්ගෙන් නව රූප කලාපයන් බිහිවීමක් ප්‍රකට නොවේ. සංසේදජ සත්ත්ව උපත මේ ස්වභාවයට ප්‍රතිපක්ෂයයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් එය විඤ්ඤාණයේ එළඹීමක් මත සිදුවන්නකි. එසේ නැතිව අජීව අවිඤ්ඤාණක වස්තුවල ස්වභාවයක් නොවේ. ගල් කැටයක් යම් තැනක තබා වර්ෂ ගණනාවක් ඉක්ම ගිය විට බැලූවොත් එහි, එය තුළින්ම ජනනය වන වැඩීමක් දැකිය නොහැකිය. පදාර්ථයන් ගේ ක්‍ෂය වීමක් පමණක් දැකිය හැකිය. ඊට බලපාන ධර්මතාවය කුමක්ද? එක්කෝ සෘතු විපර්යාසය නිසා විය හැකිය. නැතහොත් එහිම ඇති තේජෝ ධාතුවේ ධර්මතාවය වන දිරා යාමේ අනිත්‍ය ලක්ෂණය නිසා විය හැකිය. එනිසා අවිඤ්ඤාණක අජීව වස්තූන්ගේ විපරිනාමයට පාදක වන්නේ උතු හා ධම්ම නියාම ධර්මයන් පමණක් බව පෙනේ.
Read more »
Labels: ධර්ම විචාර්ය