දාන පාරමිතාව
නමෝ තිලෝක තිලකස්ස
ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්ති සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රි, උපේක්‍ෂා යන දස පාරමි ධර්මයන් සම්පූර්ණ කරන ලද්දේ බුදු බවට අවශ්‍ය සුදුසුකම් වලින් පිරිපුන් බවට පත්වීම පිණිසය. ලොවැ කවර තරාතිරමක කෙනෙකුන් වුවද යම්කිසි තත්ත්වයක් -තනතුරක් උසස් බවක් ලබා ගනු කැමති නම් ඒ පුද්ගලයා පළමුවෙන්ම ඊට අදාළ සුදුසුකම් මොනවාදැ යි දැනගත යුතුය. දැනගැනීමට තරම් තමාට අවබෝධයක් දැනුමක් නැත්නම් උගත් බුද්ධිමත් නැණවතුන් සොයා ගොස් ඔවුන්ගේ අවශ්‍ය කරුණු උගත යුතුය.
ඉන් අනතුරුව එකී ගුණදම් වඩා වර්ධනය කරගැනීමට පුරුදු පුහුණු විය යුතුය. සිද්ධාර්ථ ගෞතම මහ බෝසතාණන් වහන්සේත් එදා දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණය ලැබ එනම්, “ මේ උග්‍ර තවුසා අදින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්මගිය තැන ඒකාන්තයන්ම සිද්ධාර්ථ ගෞතම නාමයෙන් බුදු බවට පත්වන්නේය.” යන බුද්ධ වචනයෙන් ප්‍රමුදිත බවට පත්ව මෙසේ කල්පනා කළේ ය.
මේ දීපංකර බුදුපියාණන් වහන්සේ අනාගතයේදී “ මම බුදු බවට පත්වන බව ප්‍රකාශ කළ සේක.” ඒ ශ්‍රේෂ්ඨතම තත්ත්වය ලබා ගනු සඳහා සම්පූර්ණ කර ගත යුතු කරුණු කවරහුදැයි මෙනෙහි කළේ ය. එවිට උන්වහන්සේට සිහියට ආවේ බුදු බව සඳහා අවශ්‍ය සුදුසුකම් වශයෙන් දස පාරමිතා ධර්මයෝ ය. මෙකී සුදුසුකම් සම්පූර්ණ කර නොගෙන කිසිදාක බුදුවිය නොහැකි බව දැනගත් පංච අභිඤා සහිත අෂ්ඨ සමාපත්ති උපදවාගෙන සිටි සුමේධ තවුසාණෝ පළමුවෙන්ම නුවණින් දුටුවේ:
දානං සීලංච නෙක්ඛම්මං - පඤ්ඤා විරියේන පංචමං
ඛන්ති සච්චමදිට්ඨානං මෙත්තුපෙක්ඛාති මේ දස
හත සඳහන් ගාථාවෙන් දැක්වෙන්නේ දස පාරමිතාවෝ ය. මෙම පාරමිතා දහය සම්පූර්ණ කර නොගෙන බුදු බවට පත් විය නොහැකි බව දුටු මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා එදා පටන්ම තමා කරන කියන සෑම ක්‍රියාවකටම මේ පාරමිතා දහය සම්බන්ධ කර ගැනීමට සමත් විය. එයින් පළමුවැන්න දානමය පුණ්‍ය ක්‍රියාවයි. දෙවැන්න සීලය වන අතර තුන්වැනි පාරමිතාව නෛෂ්ක්‍රමය නොහොත් අතහැරීමය. ප්‍රඥාව යනු සෑම දෙයක්ම බුද්ධිමත්ව සිදු කිරීම ය. වීර්යය පාරමිතාව නමින් දැක්වන්නේ නොපසු බස්නා ධාර්මික උත්සාහයයි. ඛන්තිය යනු ඉවසීමය. ක්ෂාන්ති පාරමිතාව වශයෙන් විස්තර කොට ඇත්තේ එයයි. සත්‍යවාදී බව සත්‍ය පාරමිතාව වශයෙන් දැක් වේ. තම අදහස් බලාපොරොත්තු මුදුන්පත් කරගැනීම සඳහා තම සිත් සතන් තුළ පවත්නා දැඩි ඕනෑකම අධිෂ්ඨාන පාරමිතා වශයෙන් දක්වා ඇත.
Read more »
Labels: පාරමිතා









